ම්ලේච්ඡ ආගම ගැහැණු අපිට මොකටද?

මේ වන විට ලංකාව සිය ඉතිහාසයේ ඛේදජනක යුගයේ තවත් අදියරකට අවතීරණය වී සිටී තිස් වසරක් තිස්සේ කළ යුද්ධයක් අවසන් කර තවත් විකාර රූපී නිහඬ එහෙත් බිහිසුණු වසර කිහිපයක් අපි ගත කරමින් සිටි අතර මේ වන විට ආගම් වාදී දි ගැසුණු සිවිල් කැරළි කාරිත්වයකට රට ඇද දමමින් තිබේ. ජාතිය ආගම මුල් කර ගත් මුග්ධයන්ගේ සටන් ශ්‍රී ලංකාවට අලුත් දෙ නොවේ ලෝකයටද අලුත් දේ නොවේ. 



සිංහලයාගේ මහාවංශ ඉතිහාසයේ මුල්ම පරිච්ඡේදය ද ලේ වැකි යුද්ධයකි. ඒ ස්ව දේශික ගෝත්‍රිකයන්ගේ හා සිංහලයාගේ ආදීන් යැයි කියන සිංහ වංශිකයන්ගේ ජන ඝාතක යුද්ධයයි.

ඉන් පීඩාවට පත් වූයේ කුවේණිය හා ඇගේ දරුවන්ය. මේ එක් ගැහැණියකගේ ප්‍රශ්නයක් යැයි පෙනුනද මේ ඉතිහාසය පුර වූ සියලු ගැ‍ටුම් හීදී බැට කැවේ ගැහැණියයි ඇගේ දරුවන්ය. අද බැට කන්නේ ද ගැහැණිය හා ඇගේ දරුවන්ය.

උතුර නැගෙනහිරේ යුද්ධයෙන් ඉතුරු වූයේ අසූ දහසක් පමණ වැන්දඹුවන් හා පියවරු නැති දරුවන්ය. දකුණේද වුයේ එයය. අලුත්ගම සිදුවීමේදී අපි දැක්කේ පල්ලි පාසැල් වලට කො‍ටුවුණු ගැහැණුන් හා දරුවන්ය.

මේ පිරිමින් උස්කොට සලකන ජාතිය හා ආගම නිසාය. ජාතිය පිරිමින්ගේ දෙයකි. එයට ස්ත්‍රියට අයිතිවාසිකම් කිව නොහැක.ඇයට ජාතියක් නැත. ජාතිය ඇය මනුස්ස දුවකද නොවේ. පිරිමියාගේ ජාතියට ඈ යටත්ය.

ආගම කවදත් ස්ත්‍රී විරෝධීය. එය බුදු දහමටත් ක‍තෝලික හෝ ක්‍රිස්තියානියටත් ඉස්ලාමයටත් හින්දු වේද දහමටත් පොදු වූවකි.

ගැහැනියට සිදුවූයේ හැමදාමත් මේ ජාතියේ හා ආගමේ පිරිමි බලහත්කාරයට යටවීමය.

ඒ මොහොතකට පැත්තකින් තැබුවත්, ජාතියේ හා ආගමේ ඉතිහාසය විසින් මේ සමස්ත මානව වර්ගයාට ලබා දි තිබෙන ජයග්‍රහණය කුමක්ද ? කිසිවක් නැත.

දෙදහස් පන්සිය වසක බෞද්ධ ඉතිහාසයේ අවසන මේ අත්පත් කරගෙන තිබෙන්නේ ජයග්‍රහණයක්ද ? ඉස්ලාමය විසින් මානව වර්ගයා සිය ම්ලෙච්ඡ ගෝත්‍රික යුගයෙන් අඩියක්වත් ඉදිරියට තල්ලු කිරීමට සමත්ව තිබෙන්නේද? වේද ග්‍රන්ථ මඟින් සිදු කළේ යටහත් පහත් භාවය මිසක වෙන කුමක්ද? ක්‍රිස්තියානිය සිදු කළේ මිනිසාගේ කොඳු කඩා කොහෙවත් නැති දෙවියකුට යටත් කරවීමය.
මේ සරළ සත්‍යයයි.

මිනිසාට මිනිසකු ලෙස ගොඩ නැගීමට ඇති සියලු අවස්ථා ආගම මඟින් අහුරා ඇත. ඉර පායන්නේ කොහොමද වැස්ස වහින්නේ කොහොමද සුළං හමන්නේ කොහොමද කියා නොදන්න ගෝත්‍රික යුගයේ ඉරහඳ ගස් ගල් ඇදහිමට මිනිසා පෙළඹීම තාර්කිකය. එහෙත් මේ විසිඑක් වෙනි සියවසේදීත් ඒ මොඩ සිතුවිලි ඇදහිලි කර තබාගෙන යන මිනිසා ඒ ගෝත්‍රිකයාගෙන් වෙනස වී නොමැත. මේ ගෝත්‍රික මෝඩකම් මත්තේ නැහෙන මුග්ධයන් ඥනසාරලාගේ තක්කඩි ව්‍යාපෘතිවල ගොදුරු වීමත් තර්කිකය.


මේ දිනවල ආගමික කෝලහල සමග ඇසෙන තවත් කතාවකි, ආගමික සහජීවනය. ඇත්තටම ආගමික සහජිවනයක් අවශ්‍යද ? මේ සහජීවන ව්‍යාපෘතිය යනුද පරණ ගෝත්‍රික මෝඩකම් එලෙසම තබාගෙන මේ නරුම සමාජ ක්‍රමය තවදුරටත් සාමකාමී ලෙස ආරක්ෂාකර ගැනීම විනා වෙන කිසිවක් නොවේ.

අද අවශ්‍ය වනුයේ මිනිසාට මිනිසා ලෙස ගොඩ නැගිය හැකි අවශ්‍ය තත්වයක් නිර්මාණය කර ගැනීමකි. විශේෂයෙන්ම මේ වඩාත් කල්පනා කළ යුත්තේ ගැහැණිය විසින්ය. මන්ද ජාතිය හා ආගම විසින් වඩාත් පීඩාවට පත්කර ඇත්තේ ඇය නිසාය.

ඒ නිසා ඥානසාරලාට මෙන්ම තලෙයිබාන්ලාට ඉලපතින් ගසා පැන්නීමට මේ රටේ ගැහැනියට හැකි විය යුතුය.