මීඩියා ධාතුව නැත්නම් නිවනට ලේසි නෑ

සෙල්ලම් නෑ බුද්ධාගම ගාථා වැඩියි කිව්වලු ඕං, මෙදාපොටේ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයෙදි කතරගම කිරි වෙහෙරෙන් කිරි වෑහෙනවා කියලා නිව්ස් එක්කුත් දැක්කා. සිරසත් සෙකන්ඩ් වෙන්න කැමති නිසා කපිලවස්තු 'නිසැක' (ඉෂ්ෂි බලන්න දෙයක් නෑ) ධාතූන් එක්ක රහතන් වහන්සේලා පහළොස් නමකගේ ධාතු පෙන්නනවා ලු. දෙගොල්ල දෙපැත්තෙන් පුදන නිව්ස් අප්ඩේට් බලද්දි නම් ඒක ඉරිදා පොළකට දෙවැනි නෑ, මිනිස්සුන්ගෙ අන්ධ භක්තියට යටින් මීඩියා මුදලාලිලා හෝ ගාලා මාකටිං ගේමක.


අනේ අපේ ආච්චිඅම්මලා මුණුපුරන්වත් එල්ලාගෙන උදේ පාන්දර එළිවෙන ජාමේ ඉඳන් පෝලිම් වල ඉඳිවි. හයිය හත්තිය තියෙනා උන් කලින් වතාවල වගේම මේ පාරත් පෝලිමේ ඉස්සරහට යන්න පොරකාවි. අතපය කඩාගන්න උනත් පුළුවනි.

සංස්කෘතික බැමි, ආර්ථික බැමි නිසා ධාතු පහ කරගන්න ක්‍රමයක් හරියට නැතුව මානසික ලෙඩ්ඩු වෙච්චි පිරිමි ඔය අස්සෙ සර්වඥධාතු බලන්න යන පෝලිම කියලා බලන්නෙ නැතුව කෙල්ලන්ට හේත්තුවත් දානවා. බලපුළුවං කාර නිලතල දරණ උදවිය කලින්ම වෙන් කරපු "පාස්" අරන් වෙනම දොරටු වලින් ඇතුළු වෙලා ධාතු වැඳගනීවි.

සමානාත්මතාවය දේශනා කරපු, රජ සැප අතෑරලා ගිහින් සසර විමුක්තිය හොයපු බුදුන්ගේ ධාතු වඳින්න යද්දි රෑන්ක් අනුව සැලකුම් ලැබෙන එක ටිකක් හිනායන වැඩක් උනත් කොතැනත් කෙරෙන සිස්ටම් එකෙන් සර්වඥධාතුවට වත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ.

අසූහාරදාහක් ධර්මස්කන්ධයේ පහස කෙළින්ම විඳපු දන්ත ධාතුව අපේම අයිතියට මෙහෙ තියෙද්දී පාලකයොයි මුදලිලායි එකතු වෙලා කපිලවස්තුවෙන් එහෙන් මෙහෙන් ධාතු වඩම්මන එකත් එයාලගෙ ආයෝජනයක් වෙලා. මුදලාලිට මාකටින්, දේශපාලකයින්ට භක්තිය ඡන්ද බවට පෙරළා ගන්න චාන්ස් එකක් ලැබෙනවා.

අනික ඉතිං කොහොමත් අපේ මිනිස්සු වන්දනා ගමන් යන්න හරි ආසයිනෙ. හම්බන්තොට වරායට හාරපු වළ බලන්න වගේම පැරදිලා ගෙදර ගියපු ජනාධිපති බලන්නත් පෝලිමේ වන්දනාවෙ ගිය මිනිස්සු හිටියනේ, නැද්ද ?

බුදුන් උපන්න දේශය වෙච්චි නේපාලයේ මහා භූමිකම්පාවකින් ජීවිත ලොකු ගාණක් විනාශ වෙලා තවත් සෑහෙන පිරිසක් අනාථ වෙලා ඉන්න මොහොතක අපි බුදුන්ගේ උපත සමරන්න ධාතු වඩම්මනවා. මිනීමරුවො, කුඩුකාරයො, ස්ත්‍රීදූෂකයො, හොරු, මංකොල්ලකාරයො ඔක්කොම එකට පෝලිමේ ගිහින් ධාතු වන්දලා කරලා පරලෝකෙට ගෙනියන්න පින් එකතු කරනවා. අවිහිංසාවාදය පදනම කරගත්තු ධර්මයක් රකින්න කොච්චර මිනී මැරුවත් පව් නෑ කියලත් සමහරු කියනවා.

එතකොට, සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා අවබෝධ කරගත්තාය කියන දුක නැති කිරීමේ මාර්ගය ; කාටද අනේ ඔව්වා තේරෙන්නෙ ? නේද ??

No comments:

Post a Comment