විමල්, එන්න මෙතැන හැමනෙන්න

දේශපාලනයේ කුණුබක්කියට වැටෙන්න ඔන්න මෙන්න ඉන්න ගමන් එල්ලෙන්න තියෙන අන්තිම තුත්තිරිගහ හැටියට "මළගිය අප්පච්චි"ට හුස්ම පිඹින්න උත්සාහ කරන එක තෝරාගත්තු විමල් වීරවංශට ඊයෙ පෙරේදා අලුත් පොටක් පෑදිලා.
දැන් කෑගහන්නෙ විදේශ ඇමති මංගල සමරවීරව අත් අඩංගුවට ගන්න කියලා. වරද, එක්සත් ජාතීන්ගෙ සංවිධානය ඉදිරියේ සමරිසි අයිතීන්ට සහාය පළකිරීමෙන් ලංකාවෙ දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කළාය කියලයි කියන්නෙ.

ලංකාවෙ දැනට තියෙන නීතියට අනුව වැඩිහිටි පිරිමියෙක් සහ ගැහැණියෙක් අතර ඇතිවෙන සංසර්ගයක් හැර අනිත් හැම ලිංගික ක්‍රියාවක් ම නීති විරෝධීයි. ඒ අස්සෙත් විවාහක නොවෙන වැඩිහිටි ගැහැණු පිරිමි යුවලක් වුණත් ලිංගිකව එකතු වෙන මොහොතක පොලීසියට ඕනි නම් කඩා පැනලා කුදලං ගිහින් "අනාචාරයේ හැසිරීම" කියන චෝදනාව එල්ල කරන්නත් පුළුවනි. ලංකාවෙ දැනට තියෙන ලිංගික නිදහස ඕකයි.

ඒත් ලෝකය තුළ ගත්තා ම දැනටත් ආජන්ටිනාව, බ්‍රසීලය, කැනඩාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, අයිස්ලන්තය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, පෘතුගාලය, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය ස්වීඩනය, එක්සත් රාජධානිය, උරුගුවේ වගේම මෙක්සිකෝවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්තවලත් සමරිසි විවාහයන්ට බාධාවක් නැහැ. අළුතින් ම මේ ලැයිස්තුවට එකතු වුණේ අයර්ලන්තය. තවත් රටවල් නීති සකසන්න සලකා බලමින් ඉන්නවා. 

දැනට ලංකාවෙ සංස්කෘතික උරුමය හැටියට ඒකෙ පොල්මඃකාරයින් පටලං ඉන්නෙ සුද්දා එනතුරු මෙහෙ තිබ්බ වැඩවසම් + වහල් සංස්කෘතික කලවමට සුද්දා ගෙනාව වික්ටෝරියානු සදාචාරයේ කෑලිත් දාලා හදාගත්තු අච්චාරුවක්. ලෝකෙන් වඳවෙලා ගිය සහ ඉතුරු බිතුරු කෑලි බෑලිත් වඳවෙමින් යන වැඩවසම් සංස්කෘතියට සුද්දාත් අතෑරිය වික්ටෝරියානු කෑලි ටිකක් එල්ලලා හදාගත්තු අපේ කරේ එල්ලන ගමන් ඒ පාලකයෝ ගතකරන්නෙ ඊට හාත්පසින් ම වෙනස් ජීවිත. ඇත්තෙන්ම ලෝකය තියෙන්නෙ දැනට සියවස් දෙක්කට කලිං තිබුණාට වඩා හැතැක්ම දාස් ගාණක් සමාජීයව ඉදිරියට ගිහින්. 

ඒත්, සියවස් දෙකක් කලිං හිටි තැනට ජනතාව ආයෙත් ගෙනියන්න පුළුවනි නම් පාලකයෝ හරි ආසයි. මිනිස් හිමිකම් ගැන මෙලෝ හැඟීමක් නැතිව ඉන්න ජනතාවකට රජෙක් වෙලා පාලනය ගෙනියන්න තියෙනවා නම් එයාලට බොහොම පහසුයි තමුන්ගෙ හිතේ හැටියට ඕනෙම අපරාධයක් කරන්න. 

පහුගිය අවුරුදු ගාණක් ඇතුළෙ ලංකාවෙත් රජෙක් හැටියට හිතාගෙන හිටි සහ දිගට ම රජකම් කරන්න හිතාගෙන හිටි මහින්දගේ ගෝලයෝ මීට වඩා වෙනස් හැටියකින් හැසිරුණා නම් ඒක තමයි පුදුම. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන උන්ට ලිංගික නිදහස ගැන කරන්න වෙනත් කතාවක් ඉතුරු වෙන්නෙ නෑනෙ. 

නීති කියන්නෙ සදාකාලිකව පවතින දේවල් නෙවෙයි, මිනිස් සමාජයේ දියුණුවත් එක්ක වෙනස් වෙන දේවල්. අතීත ශ්‍රී විභූතිය ගැන මෙහෙ ආඟිරි ගාන උදවිය උනත් දැන් දෙතිස් මහා වධ ආයෙත් නීතිගත කරන්න ඕනෙ කියන්නෙ නෑ නෙ. මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් නීති වෙනස් විය යුතුයි. ලංකාවෙ ඉන්න එකම සමරිසියා හෝ සමරිසි අයිතීන් පිළිගන්නා තැනැත්තා මංගල සමරවීර විතරක් නෙවෙයිනෙ. 

හිනායන වැඩේ, එක මිනිහෙක්ගෙ බලය පිළිබඳ වුවමනාව වෙනුවෙන් රටේ මූලික නීතිය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18 වැනි සංශෝධනය ගෙනත් වෙනස් කරපු උන් ම දැන් මෙතන නීති කතා කරන එකයි. පාලකයාගෙ මල්ලිගෙ වුවමනාව වෙනුවෙන් අගවිනිසුරුවරිය එළවන්න රෑ එළිවෙනකල් නඩුඅහලා එකරැයින් පිටු එක්දාස් ගාණක වාර්තාවකුත් දීපු උන් ම දණ්ඩ නීති සංග්‍රහය ගැන කතා කරන එකයි.

සමලිංගිකයින් ගැන කතා කරපු ගමන් මේ රටේ දැනට ලැබෙන ප්‍රතිචාර වල හැටියට අපෙ සමාජය විවාහයේදී සමානාත්මතාවය පිළිගන්න තව යන්න දුර බොහෝ තියෙනවා. දෙමළාගේ, මුසල්මානුවාගේ ජීවත්වීමේ අයිතිය පවා නොසලකන ගෝත්‍රිකයින් එක්ක එව්ව තියා මොනුත් ම කරන්න බැරි නිසයි මිනිස්සු ඔයාලා සෙට් එක පිටිම්ම පුටුවලින් එළියට ඇදලා දැම්මෙ විමල්, ඇටනැති දිවෙන් ඕනෙ එකක් කියන්න පුළුවනි.

 ඒත් වැඩක් වෙන්නෙ නෑ .. දැන් ඔයාලාගෙ කාලෙ ඉවරයි. ආයෙ ඒක එන්නෙ නෑ. සීගිරිය දැකලා නෑ කියලා පාර්ලිමේන්තුවෙ අඬලා මිනිස්සු අන්දන ගමන් වයිෆ්ව ඩිස්නිලන්තෙ සවාරි ඇරපු සුන්දර යුගය (ඒවා මහජන මුදල් හෝ ජනතාව උකස් කරලා ගත්තු මුදල් නෙවෙයි නම් අපිට ගැටළුවක් නෑ) හීනෙන් බල බලා පාඩුවෙ ඉන්න. 

No comments:

Post a Comment