මැදමුලනේ ප්‍රකාශනේ

මහින්ද රාජපක්ෂ ජනවාරි 9 වෙනිදා ඉඳන් ම තෙපර බබා හිටපු ඓතිහාසික ප්‍රකාශය ඔන්න නිකුත් කරලා. ඊළඟ මහ මැතිවරණයට තරඟ කරනවා ලු.
ඒකත් ජනතාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරිම නිසා. ඇත්තට ම පන්සලක් ගානේ ගිහින් පිනක් දහමක් කරගෙන තමුන්ගෙ ඇඬියාව රටට කියාගෙන පාඩුවෙ ඉන්න හිටපු මනුස්සයාට විමල්, දිනේශ්, ගම්මන්පිල වගෙ අනාථ සෙට් එක එකතු වෙලා නුගේගොඩ රැළියේ ඉඳන් කරපු බලපෑම අද වෙනකොට ජන පවුරක් වෙලා උන්දැගෙ ගේ ගාවට ම හමාගෙන ආපු කතාවක් තමයි කියවුණෙ. ඉල්ලන්නෙ මොන පක්ෂෙන්ද මොන දිස්ත්‍රික්කෙන්ද වගෙ වැදගත් යමක්, ස්ථිර යමක් නම් එතන කියවුණේ නෑ.


ප්‍රජාචන්චරවාදයට ගරු කරමින් ජනවාරි 9වෙනිදා උදෙම්ම මීක් නොගා තමුන් පුටුවෙන් අයින් වුණු බවත් ලෝකෙ සමහර රටවල් ඊට පුදුම වුණු බවත් කියද්දි මට ඒත් මතක් වුණේ ජනවාරි 8 වෙනිදා රෑ කෙරුණයි කියන මොකද්දෝ කුමන්ත්‍රණය මෙයා දැනගෙන හිටියෙවත් නැතිවද කියලා. අනික මෙයාව එළිබස්සන්න පාන්දරින්ම ටෙම්පල් ට්‍රීස් එකට රනිල්ට යන්න වුණේ මොන හේතුවක් නිසාද කියන එකත් හරියට ම පැහැදිලි නෑ. 

පක්ෂයේ නායකකමත් තමුන් බොහෝම සාදාරණව භාර දුන්නාය කියලත් කිව්වා මං අහගෙන. අර 'අප්පච්චි මළා' කතාව නිකම් විජිත්මුණියා ඔහෙ කටට ආවාට කිව්ව එකක් වෙන්න ඕනෙ. තමුන්ට චන්ද්‍රිකාගෙන් පක්ෂයෙ නායකත්වය ගන්න මාස හතක් ගියත් තමුන් දවස් හතෙන් මෛත්‍රීට පක්ෂය භාර දීලා මාරු උනා කිව්ව එක ගැන නම් ඉතිං හිතුණේ තමුන්ම දීපු පූර්වාදර්ශය තිබ්බ නිසා වැඩේ මෙදා පාර ඉක්මනින් කෙරුණු බවක් තමයි. 

කොහොම උනත් එතනින් එහාට එයා කතා කළේ එයාගෙ ආසම මාතෘකාව. "ජාතික ආරක්ෂාව අනතුරේ" කියලා පොඩ්ඩක් හයියෙන් කිව්ව ගමන් අන්දා ගන්න පුළුවන් සෙට් එකක් මේ රටේ ඉන්නවායි කියන එක එයා තරම් හොඳට වෙන කවුරුත් දන්නෙ නෑනෙ. කොහොමත් මහින්ද රාජපක්ෂගේ දේශපාලනය කාලයක් තිස්සෙම කැරකෙන්නෙ ජාතිවාදය උඩ. පැරදිලා එළියට බැහැපු ගමන් පහුවදාම ඒ උන්දෑ කිව්වෙ තමුන් පැරදුණේ ඊළාම් චන්ද නිසා කියල බව අපිට අමතක නෑ. උතුරේ ඉන්න හැමෝම පොදුවේ 'කොටි'යි කියලා කියන එක තරම් දකුණේ ජාතිවාදීන්ට දෙන්න වෙන ආතල් නෑ. 

මේ වතාවෙදිත් ත්‍රස්තවාදීන්ට වන්දි දෙන්න ගිය කතාවක් ඇදගත්තෙ ඒකට. මාහින්දලාට අනුව කරුණා, කේ.පී. වගෙ කීපදෙනෙක් ඇරුණාම උතුරෙ අනිත් හැමෝම කොටි. හය දෙනාට එකෙක් බැරිනම් දෙන්නට එකා ගාණෙ හරි හමුදාව දාලා උන්ව යම් මිලිටරි පාලනයක් යටතේ තියන්න ම ඕනි, එහෙම නොවෙනවා නම් ජාතික ආරක්ෂාව අනතුරේ කියන එක තමයි එයාලගෙ කතාන්දරේ සාරාංශය. 

ඇත්තටම බැලුවාම ජාතික ආරක්ෂාව වවාගෙන කාපු කෑමන දැන් කන්න විදිහක් නැති නිසා එයාලගෙ පරම්පරාව යම් අනතුරක ඉන්නවා තමයි. ආයුධ මිලදී ගද්දි ලැබුණු බර කුට්ටි දැන් ලැබෙන්නෙ නෑනෙ. ඒ වගෙම ඕනිම විරුද්ධවාදියෙක් එක්කො මහපොළවෙන් අතුගාලා දාන්නම, නැත්තං බය කරලා එළවලා දාන්නම තිබුණු නිදහස දැන් එයාලට නෑ, දිනූ නිදහස අනතුරේ කියන්නෙ ඒකට.

ඒ වගේම විරුද්ධ දේශපාලනඥයින්ගෙන් පළිගන්න කතාවක් කියද්දි එයාට නිකමටවත් ශ්‍රීපති සූරිය ආරච්චි මතක් වෙන්න නැතුව ඇති. සරත් ෆොන්සේකා ගැන කතා නොකර ඉමුකෝ. නීතියේ ආධිපත්‍ය රැක්කාය, ව්‍යවස්ථාවට පිටින් ගියෙ නැතුවාය වගෙ කතා වලට දෙකොනින් හිනා වෙනවා ඇර වෙන කරන්න දේකුත් නෑනෙ. ශිරානි බණ්ඩාරනායකව ගෙදර යවපු විදිය වගේම 18 වැනි සංශෝධනයෙන් ඒකාධිපතිත්වය ව්‍යවස්ථාගත කරපු හැටි අපිට අමතක නෑනෙ.

අවසානෙදි සියලු 'දේශප්‍රේමීන්ට' තමුන් එක්ක අත්වැල් බැඳගන්න එන්න කියලත් ආරාධනා කරා. එල්ලෙන්න වැල් නැතුව ඉන්න දේශපාලනික අනාථයින්ට මෙයාගෙ වැලේ එල්ලෙනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ තමයි. ඒත් යම් ඡන්ද පදනමක් තියෙන මන්ත්‍රීවරු ප්‍රධාන පක්ෂ වලින් අයින් වෙලා මෙයා එක්ක ඉල්ලන්න එනවා නම් ඒක දේශපාලනික එල්ලිලා මැරෙන වැඩක් වගෙ වෙයි. 

කොහොම උනත් මහින්ද, එදා විධායක බලය, ආණ්ඩු බලය, රාජ්‍ය ත්‍රස්තවාදය වගෙම නිල නොවෙන මැර හමුදාත් තියාගෙන කරන්න බැරි වුණු සෙල්ලමක් මේ වෙලාවෙ අමුතුවෙන් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. උදේ ඉඳන් බෙරි කරගෙන ඉදපු ඔයාගෙ ම මුණෙ තිබ්බෙත් ඒ අපේක්ෂා භංගත්වය ම වෙන්නත් ඇති. 

ඉතිහාසයේ කුණු බක්කිය ඔයා එනකල් මඟ බලන් ඇති, ඇවිත් ඡන්දෙ ඉල්ලලා බලන්න. 

(බුකියෙන් උස්සන ලද ෆොටෝවකි)