තලවාකැලේට නෑගම් යමු !!


තේ කර්මාන්තශාලාවක් ළඟින් යද්දි දැනෙන තේ දළු ඇඹරෙන සුවඳ විඳලා තියෙනවද ? ඒවගෙ මිහිරක් ප්‍රබෝධයක් කවදාවත් තේ කෝප්පෙකින් ලැබෙන්නෙ නෑ. අපෙ ජීවිතත් වෙලාවකට ඒ වගෙ තමයි. ගෙදරදොරේ වැඩත් එක්ක, රස්සාවත් එක්ක හිර උනාම අපිටත් ජීවිතේ කියලා විඳින්න වෙන්නෙ අන්තිමේ කවුරු හරි වේලලා පැකට් කරලා ලේබල් ගහලා එවන දෙයක්. ඒත් එතැනින් එපිටට පියවරක් තියන්න, හැබෑ ජීවිතේ සහෝදරකමක උණුසුමත් අරං සීත කඳුකරයට නෑගමනක් යන්න අපි සූදානම්. දවස ජුලි 11. ආපහු එන්න වෙන්නෙ 12 වෙනිදා.


තේ කෝප්පෙකට රතු පාට ගේන කහට හැදෙන්නෙ ඒ වතු අස්සෙ හැලිච්චි මිනිස් ලේ නිසාමද මන්දා ... 

උපන් බිමෙන් උගුල්ලලා වහල් කමට ලංකාවට ගෙනාපු, අදටත් අනිත් මිනිස්සු විඳින අයිතිවාසිකම් පහසුකම් බොහොමයක් අහිමි වුණු, ඒ වගෙම අධික සීතල සොබාදහමෙන් පවා දුක් විඳින අපේම මිනිස්සු කොටසක් අපෙ ඇස් වලට අහුවෙන්නෙ කොයිතරම් නම් කලාතුරකින්ද ? තේ වත්තක් කිව්ව ගමන් අපෙ හිතේ මැවෙන්නෙ සමෝච්ඡ රේඛා දිගේ ගානට මිම්මට තේ පඳුරු හිටවපු, ඒ මැදින් පින්සලෙන් ඇන්දා වගෙ
සීරුවට පාරවල් වැටුණු, පාරවල් අයින් දිගට ළා කහපාට මල් පිපුණු, හීනි මීදුමකින් වැහිච්චි සුන්දර ම සුන්දර තැනක්. ඒ සුන්දරත්වයේ ඉඳන් හැමදාම උදේට බොන තේ කෝප්පයේ මිහිර දක්වා දේවල් මවනා ඒ මිනිස්සු අපිට කොයිතරම් නම් දුරයිද ? මේ ගමන අන්න ඒ දුර අඩුකරන්න, නැතිකරන්න යන ගමනක මුල් පියවරක් හැටියටයි.

නෙළුම් යාය සහෘද සංගමය දෙමළ භාෂාවෙන් පළකරන "තාමරි කුලම්" වෙබ් අඩවිය ජනගත කරන්න බලාපොරොත්තු වෙන්නෙ තලවාකැලේදි. තලවාකැලේ "අඩයාලම්" කණ්ඩායම එදාට කාන්තා ක්‍රිකට් උත්සවයක් සූදානම් කරලා තියෙනවා. එයාලගෙ කණ්ඩායමයි නෙළුම් යායෙ අපෙ කණ්ඩායමයි අතරෙ 20-20 ක්‍රිකට් තරඟෙකුත් සූදානම්. 11 වෙනිදා උදෙන්ම කොළඹින් පිටත් වෙලා, එදා ක්‍රිකට් සෙල්ලම් කරලා, රෑ සිංදුවක් කියලා නටලා පුංචි සාජ්ජයක් දාලා, පහුවදා වෙබ් අඩවිය විවෘත කරලා හවස් වෙද්දි ආපහු එන්නයි අදහස.

භාෂාමය බැම්මකින් ඈත් කරපු මිනිස්කම් සීතල මීදුමක් අතරින් දල්වන්න, සහෝදරත්වයේ මල් සියදාස් ගාණක් පුබුදුවන්න එක් නෙළුම් පැළයක් එතනත් පැළකරලා එන්න, අපිත් එක්ක එකතුවෙන්න. බ්ලොග් සංසදයේ හැමෝටමයි මේ ආරාධනාව. 

පින්තූර දුන්නේ -  නිශාන්ත ප්‍රියදර්ශන



No comments:

Post a Comment