පෝට් සිටිය දැන් ශෝක් .. කාටද ආඩම්බර !

කොළඹ වරාය නගරය එහෙමත් නැත්නම් පෝට් සිටි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබිලාය කියලා සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමති මලික් සමරවික්‍රම කියලා තිබුණා. පරිසර අධිකාරියේ අනුමැතිය ලැබුණු බවත් සියළුම ප්‍රශ්න විසඳුනු බවත් තමයි ඇමතිවරයා කියලා තිබුණෙ. 



අවුරුද්දකුත් මාස දෙකක් ඇතුළත අපි මැරිලා ඉපදුණේ නැහැනෙ. පහුගිය 2015 ජනවාරි 08 වෙනිදා වෙනකොටත් දේශපාලන වේදිකා වල මූලික ම ප්‍රශ්නයක් වුණේ පෝට් සිටි. මුහුද ගොඩ කිරීම හරහා වෙන පරිසර විනාශය, මුහුද ගොඩ කිරීම නිසා වැල්ලවත්ත, මෝදර වගේ ආසන්න වෙරළ තීරවල සිද්ද වෙන වෙරළ ඛාදනය, මේ ගොඩ කිරීමට අවශ්‍යවෙන කියුබ් දහස් ගණනක කළුගල් කැඩීම නිසා රට අභ්‍යන්තරයේ සිද්ධ වෙන පරිසර හානි ගැන වගේ ම චීන බලපෑමට යට වෙලා අත්සන් කෙරුව ගිවිසුමෙන් රටට කිසි ලාභයක් නැතිබවත් කලාපයේ චීන බලපෑම වර්ධනය කර ගැනීමේ චීන වුවමනාව විතරක් ම වෙනුවෙන් මේ පෝට්සිටි ව්‍යාපෘතිය කෙරෙන බවත් තමයි එදා කියවුණේ. 

ඒත් මලික් සමරවික්‍රම ඇමතිවරයා දැන් කියන විදියට අවුරුද්දකුත් මාස දෙකක් ඇතුළත මේ සියළුම ප්‍රශ්න විසඳිලා .. රාජපක්ෂලාට බැරිවුණු ආසියාවේ ආශ්චර්ය දැන් පහළ වෙලාවත්ද කියලත් හිතෙනවා. දැන් පරිසර අධිකාරියේ අනුමැතිය ලැබුණු නිසා මුහුදු රළ වෙරළ ඛාදනය නොකර ඉඳීවිද ? පිරවීමට වුවමනා කළුගල් ප්‍රමාණෙත් චීනෙන් ම ගේනවද ? දේශපාලන ව්‍යාපෘති ඇතුළෙ වචන හරඹ කොච්චර නම් ලේසිද ?

චන්ද වලට කලින් නොයේකුත් පොරොන්දු දීගෙන දත් තිස් දෙකම පෙන්නාන හිනා වේගෙන දෙකට තුනට නැවීගෙන එන දේශපාලකයින්ට රැවටෙන එක තමා ජනතාව හැටියට අපි හැමදාමත් කළේ. කොහොම හරි වැලේ වැල් නැතුව ඉන්න රාජපක්ෂලා ප්‍රමුඛ හොර නඩේට ආයෙත් ජනතාව ඉස්සරහ තමුන් කිව්ව ඒවා හරියි කියන්න අවස්ථාවකුත් වික්‍රමසිංහ ආණ්ඩුව මේ හරහා ලබලා දෙනවා. අනිත් අතට මේ කැබිනට්ටුවෙනුත් බාගයක් ඉන්නෙ කලින් ඔය ව්‍යාපෘතිවලට අහක බලාගෙන ම අනුමැතිය දුන්නු උදවියනෙ. 

ආයෙත් කෑගැහුවට වැඩක් වෙන එකක් නෑ, ඒකත් ජයසිරි මංගලම් කියලා හිත හදාගන්නයි වෙන්නෙ. ඔන්න දැන් ලංකාවෙ අපිට චීන වරාය නගරෙකුත් තියෙනවා. කාටද ඉතිං ආඩම්බර ? 

No comments:

Post a Comment