ලැජ්ජයි මෛත්‍රී.....!



ස්ත්‍රී පුරුෂ සමාජභාවීම සංකල්ප තුළ කාන්තාවගේ පාරිභෝජන නිදහස සහ ව්‍යාපාර හෝ වෘත්තියට එළඹීමේ නිදහස පැවතිය යුතු බව ලෝකයේ බොහොමයක් දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල් පමණක් නොව ආයතනික ව්‍යූහයන්ද දැඩිසේ පිළිගන්නා කරුණකි. ලංකාව තුල ගොඩනැගෙමින් පවතින ප්‍රජාතන්තවාදී සහ මානව නිදහස පදනම් කරගත් පරිසරය තුල මංගල සමරවීර අමැතිවරයාට අවශ්‍ය වූයේ මත්පැන් වෙළඳාම සහ ලංකාව තුල නීතිවිරෝධී නොවන මත්පැන් භාවිතා කිරීමේ යහපත් සංස්කෘතියක් නිර්මාණය කිරීමයි.  

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්චේදයේ මුලික අයිතිවාසිකම් යටතේ, ''කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය. යනුවෙන් ලියා තබා ඇත්තේ ද කාගේ හෝ චර්ම රෝගයකට නොවේය.
එසේම, ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය යන හේතුන් මත හෝ ඉන් කවරහෝ හේතුවක් මත හෝ වෙළඳසල් වලට, පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පුජනීය ස්ථානවලට ඇතුල්වීම සම්බන්ධයෙන් යම් ආශාක්නුතාවයකට, බැඳීමකට, සීමාකිරීමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේය. ලෙස ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේද ලංකාව නැමැති දූපත් රාජ්‍යය තුල එය ක්‍රියාත්මක විය යුතු හෙයිනි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1979 වසරේ සම්මත කළ සිඩෝ ප්‍රඥප්තියට 1980 දී ශ්‍රී ලංකාවද නිල වශයෙන් අත්සන් තබා ඇත. ඒ අත්සනින් සෘජු සහ වක්‍රාකාරව ක්‍රියා සිටින්නේ කාන්තාව හා ගැහැණු ළමයින්ට එරෙහිව සියළුම ආකාරයේ වෙනස්කම් එනම් රැකි රක්ෂා,තීරණ ගැනීම්,ඉඩම් අයිතිය,ලිංගික හා ප්‍රජනන, අධ්‍යාපනය ලැබීමේ අයිතිය, පවුලේ සිදුවන හිංසනය,දේශපාලන තත්වය ඇතුළු කාන්තාවන්ට එරෙහිහිංසන ක්‍රම වැනි බොහෝ ක්ෂේත්‍රවල ඇති අවාසි සහගත හා අසමානතා තත්තවයන් දුරු කිරීමට මෙම සම්මුතිය මගින් ශ්‍රී ලංකාවද එකඟ වී ඇත. එසේම එය අත්සනකට පමණක් සීමා විය යුතුද නැත.

රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් සහ එකඟතා ස්ත්‍රියටද අදාලය. ඈ අමුතු සත්වයෙක් ලෙස සලකා කාන්තාවගේ පැවැත්ම පසෙකලා සංස්කෘතිය,සභ්‍යත්වය නැමති බිල්ලා තුලින් රටේ කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්න යටගැසීම සිදුවීම හැම ආණ්ඩුවක්ම සිදුකල කටයුත්තකි. සංස්කෘතිය යනු ස්ථායී සංකල්පයක් නොව ලොව නවතාවයන් සහ මානව චර්යාවන් පදනම් කරගෙන ගතිකව පැවතිය යුතු දෙයක් බව ලොව ප්‍රජාතන්ත්‍රවාදය පවතින (නාමිකව නොව) රටවල් සහ සමාජ පිළිගන්නා කරුණකි.

නමුත් ඊනියා සුචරිතවාදිත්වය සහ සභ්‍යත්වය නැමැති නමකින් වැරදින් තැනින් අල්ලාගත් මානව නිදහසට බාධාකාරී ක්‍රමවේදයන් උසුලාගෙන යන තැනට මේ ආණ්ඩුව ද පත්වන්නේ නම්, මෙරට සංස්කෘතිය,සභ්‍යත්වය නොව කාන්තාවගේ පැවැත්මද ආරක්ෂාකරලීමට මෙම රජයට නොහැකිවී ඇත.

මත්පැන් මිලදී ගැනීම හෝ නිත්‍යානූකුළ වෙළදාමේ යෙදීම සංස්කෘතියට පටහැනි වෙන්නේත්, සදාචාරයට කණේ පහරවල් ගහන්නේත් කෙසේද යන්න නොතේරෙන තර්කයකි. අපේ සංස්කෘතිය අලිඛිතය, සදාචාරයද අලිඛිතය. එහෙව් සංස්කෘතික සදාචාරය තුල කොතැනකවත් කාන්තාවකගේ හැසිරීම් මෙසේ වියයුතු යැයි නිශ්චය කර නැති අතර නිදහස යන්න පුරුෂයාට පමණක් හිමිවිය යුත්තක් බව කොහේ හෝ ලියා නැත. ආණ්ඩුවකට මත්පැන් ආනයනය කිරීම සහ නිපදවීමද හොඳය, ඒවාට බදුපිට බදු ගහන එක හොඳය, රජයේ ඉහළම සාද වල සිට පහළම සාද දක්වා මත්පැන් ප්‍රදානය කිරීම ද හොඳය, ඒවාට පැමිණෙන ඉහළ පැලැන්තියේ නෝනා මහත්වරුන්ට ඒවා පානය කිරීමද හොඳය, නමුත් ඒවා සඳහා නීතිමය බාධාව ඉවත් කිරීම නරකය. ඒ නිසා අපේ රට සංස්කෘතිය ලෙස අල්ලාගෙන ඉන්නේ වැරදි තැනක් බව මෛත්‍රී තේරුම්ගන්නා බවක් පෙනෙන්නට නැත, දැන් දැන් එසේ තේරුම්ගනීවී යැයි සිතීම පවා මෝල්ගස්වල දළු එනතුරු කල්ගෙවීම වැන්නකි.

ආසියානු සංස්කෘතියේ කාන්තාව කුස්සිය මුල්ලට දමා ඇයව බිත්තියට සිර කිරීමත්, පිරිමියා කරන ඕනෑම දහදුරා වැඩක් සාධාරණබව කියා පැත්තකට දැමීමත් පොදු ලක්ෂණයක් වී ඇත. එහෙව් කාන්තාවට පසුගිය දශක ගණනාව මුළුල්ලේ සිය සමානාත්මතාව මත පදනම්වූ හිමිකම් සොයා උගුරු ලේ රහවනතෙක් කෑ ගැසීමට, අරගල කිරීමට සිදුවිය. එසේනම් මේ දක්වා කිසිම රජයකින් ඔවුන්ට හිමි නිදහස රිදී බන්දේසියක තබා පුදකර නැත. අඩුම තරමින් වෘත්තීයමය හෝ පරිභෝජන නිදහස තබා ජීවත්වීමේ නිදහස හෝ පුදකර නැත. නමුත් වත්මන් රජයේ එවැනි දේ ගැන අවබෝධයක් ඇති මැති ඇමතිවරුන් ගන්නා තීරණ අඩියෙන් අඩිය පස්සට ඇදීමට ජනපතිවරයා ක්‍රියා කිරීම ලැජ්ජා සහගතය.

සංස්කෘතිය හෝ සදාචාරය නැමති කඩතුරාවෙන් වැසිය නොහැකි සීමාමායිම් ඉක්මවූ ලොවක් වෙත ලංකාවද පියනගමින් සිටියි. නිදහස වනාහි තම අභිමතය පරිදි ජීවත්වීම මිස විලිබිය පසෙකලා කටයුතු කිරීම ලෙස වරද්දා නොගත යුතුය. කෙසේවෙතත්  මෛත්‍රීගේ ඉලක්කය ඉදිරි මැතිවරණයකදී මෙරට සංස්කෘතිය,සදාචාරය ගැන පාරම්බාන ඡන්දදායකයින් බව පැහැදිලිය. මේ මොහොතේ ඔහුට අවශ්‍ය විසිල් මිස බල්ටි නොවේ.

ස්ත්‍රියගේ ප්‍රධානතම ප්‍රශ්නය මෙය යැයි මා කිසිවිටකත් නොපවසමි. එහෙත් පාර්ලිමේන්තුවේ පිරිමි මන්ත්‍රීවරුන්ගේ පදයට එහෙයි කියන මන්ත්‍රීවරියන් සිටියදී මංගල ඇමතිවරයා පිරිමියෙක් ලෙස කාන්තා හිමිකම් වෙනුවෙන් අඩියක් හෝ තැබුවේය. එය අගය කල යුතුය. ඒ අනුව මංගල පොරකි. මෛත්‍රී තවමත් මෙට්ටන් තැබිය නොහැකි සිංහල බෞද්ධ කුහක ගෝත්‍රික දේශපාලන සත්වයෙක් පමණි.