ප්‍රේමය, බාල්කය සහ ප්‍රින්සිපල් ලා ...

උපන් දිනයක් දාට කරන්න නම් හිතෙන දේවල් කීයක්ද ? ගෙදරින් ඈතක ඉන්නවා නම් ගෙදර දුවන එක, යාළුවො එක්ක එකතු වෙලා කේක් එකක් කපලා පුංචි සාදයක් දාන එක, සිංදුවක් කියලා නටලා විනෝද වෙලා තවත් අවුරුද්දක් ජීවිත ගමනෙ ගෙවුණු එක සමරන එක ... ඒත් යන්තම් වයස 19ක් වෙනදාම දාම තමුන්ගෙ ජීවිතේ හමාර කරගන්න ගෑණු ළමයෙක්ට හිතෙන එක කොච්චර නම් ඛේදවාචකයක් ද ? 


ඈ හැටන් කොටගල දෙමළ විද්‍යාලයේ ඉගන ගත්තු උදයකුමාර් ප්‍රවීනා. නංගිව ඉස්කෝලෙන් ගෙදර එක්කන් එන්න අම්මා එළියට බැහැපු වෙලාවක මහ දාවලේ ම ඈ ගෙදර බාල්කෙක ඇගේ අවුරුදු 19ක ජීවිත කතාව එල්ලලා ඉවර කරගෙන තිබුණා ...

ප්‍රේම සම්බන්ධයක් නිසා ඉස්කෝලෙන් පන්ති තහනමකට ලක් වෙලා ගෙදර ඉඳන් පාඩම් වැඩ කළාය කියලයි ඇගෙ අම්මා කියන්නෙ, මට එකවරම මතක් වුණේ ප්‍රේම සම්බන්ධයක් නිසා "වේසියක්" හැටියට නම්බු නාම ලබා මේ විදිහට ම ජීවිතෙන් සමුගත්තු වෙනූෂා ඉමන්දිව. 

නව යොවුන් වයසෙදි ඇතිවෙන හෝමෝන් ක්‍රියාකාරීත්වයත් එක්ක දැනෙන අලුත් හැඟීම් යම් ප්‍රමාණෙකින් අත්හදාබලන්න ළමයි පෙළඹෙන එක බොහොම ස්වභාවික දෙයක්. පාසල් වයසෙදි ඇති කරගන්න ප්‍රේම සම්බන්ධතා බොහෝ වෙලාවට වැඩි දුර යන ඒවාත් නෙවෙයි. වැදගත් වෙන්නෙ වැඩිහිටි පරම්පරාව ළමයින්ගෙ මේ හැඟීම් තේරුම් අරගෙන එයාලට ඒ ආකර්ශනය ගැනත් ඒ වයසට අදාලව ළමයින්ට කරන්න තියෙන කටයුතු ගැනත් පහදා දීලා ගැටළුවක් ඇති නොවෙන ආකාරයට කටයුතු කරන එකයි.

ඒත් අවාසනාවට මෙහෙ වෙන්නෙ ඒක නෙවෙයි, තමනුත් පාසල් ජීවිතේදි පොත් අස්සෙ ආදර ලියුම් හංගගෙන ගිය උදවියම පස්සෙ කාලෙක වැඩ්ඩිහිටියො හැටියට - හරියට නිකම් එයාලා උපතින් ම වැඩිහිටියො හැටියට ආවා වගේ - පාසල් ප්‍රේමයක් දැක්ක තැන ඩෙඟා නටන එක. ආදරෙන් කතා බහ කරලා බේරන්න තියෙන දෙයක් අවසානෙදි බාල්කයක් හෝ දිය ඇල්ලක් දුරට යනකල් ගෙනියන්නෙ එයාලා. ළමයි කියන්නෙ ළමයින්ට. බොහෝ ගුරුවරු තමුන්ගෙ කෙස් පැහෙන තුරාවට ජීවිත කාලෙ ඉගෙන නොගන්නා එකම දේත් ඕක. එයාලා ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ එයාලගෙ වැඩිහිටි ජීවිත වල සැශේ පැකට් එකක්.

වෙනූශාව මරණය කරා දක්කපු විදුහල්පති වරයා කිසි හෙණයක් නැතිව ගිය මාසෙ වෙනකලුත් විදුහල්පති පුටුවෙම යසට ඉඳලා, උසස්වීමකුත් එක්ක අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළු වුණු රටක් මේක . 

අධ්‍යාපන මනෝවිද්‍යාව වගෙ දේවල් ඩිප්ලෝමාව සම්පූර්ණ කරගන්න පොත් ගණන් කටපාඩම් කරලා පස්සෙ රාක්ක ගාණෙ මකුළු දැල් බැඳෙන්න අතාරින දිසාපාමොක් පරපුරක් වෙනස් නොවෙන තාක් අහිංසක දරුවො දැරියො අකාලෙ පරවෙලා යන එක නවත්තන්න බැරි වේවි. සමාජයක් ඉදිරියට ගෙනියන්න නම් ඒකෙ ඉදිරි පරම්පරාව අලුත් දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනෙ. මරියානා අගාධයේ පතුලෙ ඉන්න ගුරු පරම්පරාවකට කවදාවත් බෑ ශිෂ්‍යයින්ට ක්ෂිතිජයෙන් එපිට දකින හැටි කියා දෙන්න. 

"වේවැල් කෝටු නාරං සියඹලා අතු" මළවිකාර වෙනුවට ආදරය ආදේශ කෙරෙන දවසක් ....


ප්‍රවීනා, ඔයාගෙ තීරණය සාධාරණීකරණය කරන්න කොහෙත් ම බෑ, ඒත් ඔයාව එතැනට පොළඹවපු උන් එක්ක අපි ගනුදෙනු බේරගන්න ඕනෙ ...