රොෂේන් .. අමතක නොවෙන මතකය

රොෂේන් චානක ඝාතනයෙන් හතර වසරක් ඉක්මයන මොහොතක ලියනා සටහනක් ...

පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් එහෙම නැත්නම් පෙන්ශන් එකක් නැහැ. රැකියාව හමාර කෙරෙන කාලෙක ඔවුන්ට තියෙන එක ම බලාපොරොත්තුව ඊ.පී.එෆ් එක.
රාජපක්ෂ පාලනය විසින් ඒකටත් අනින්න සූදානම් වුණු මොහොතක ඊට එරෙහිව නැඟිච්චි කටුනායක වෙළඳ කලාපයේ කම්කරු අරගලය ඉතාම තිරිසන් විදිහට ආණ්ඩුවේ මුරබල්ලන් යොදවලා සමතලා කෙරුණා. නිකම්ම නෙවෙයි මිනිස් බිල්ලකුත් අරගෙන. ගොදුර උනේ පොඩි කොල්ලෙක්. රොශේන් චානක. 

එදා පොලීසියට ලැබුණු නියෝගය අනුව උන් විරෝධතාවයට වෙඩි තිබ්බා. දුවන මිනිසුන්ට ගැහැණුන්ට අන්ත තිරිසන් විදිහට පහර දුන්නා. ගැබිණියන්ට පවා පහර දුන්නා. සේවකයන් වැඩට ආපු බයිසිකල් වලටත් ගිනි තිබ්බා. වෙඩි වැදිලා වැටිලා ඉඳපු රොශේන්ව ඉස්පිරිතාලෙකට ගෙනියන්න නොදී රඳවාගෙන ඔහුගේ මරණය දෙවැනි වරටත් තහවුරු කරා.

අවසානයේ දී ආණ්ඩුවේ වංචාකාරී පනත අකුලා ගන්න වුණා. කැළඹිල්ල වහගන්න පොලිස්පති ඉල්ලා අස්වුණා. ඉල්ලා අස් වුණු පොලිස්පතිට ආණ්ඩුවෙන් තානාපති කමක් ලැබුණා. දරු කැක්කුම, විඳ දරාගන්න බැරි ශෝකය මැද්දෙම අම්මා කෙනෙක්ට කරන්න පුළුවං ලොකුම අසාධරණය කරමින් රොශේන්ගෙ ජීවිතයට මිලක් නියම කරපු ආණ්ඩුව ඒ අම්මගෙ අසරණකමත් මාධ්‍ය ඉදිරියේ වෙන්දේසි කරලා ශුද්ධවන්තයින් වුණා.

දැන් අවුරුදු 4ක්. රොශේන්ලා විරෝධතා කළේ ජනාධිපති මන්දිරය ඉස්සරහා නෙවෙයි, තමුන් වැඩ කරපු කම්හල් ඉස්සරහ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂනය කරන්න කම්කරුවන්ට තියෙන අයිතිය අමුඅමුවේම උල්ලංඝනය කරමින් අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතේ බිලිගත්තු මිනීමරු රාක්ෂයින්ට දැන්වත් දඬුවම් ලැබෙන්න ඕනෙ. 

අපි දන්නා තරමින් උද්ඝෝෂනයක් විසුරුවන්න ජීව උණ්ඩ පාවිච්චි කරන්න කලිං ගන්න ලෝකේ පිළිගත්තු ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. ලංකාවෙදි නම් භාෂා තුනෙන් ම උද්ඝෝෂකයින්ට දැනුම් දෙන්න ඕනෙ ඉවත් නොවුණොත් වෙඩි තියනා බව, එතැනට ජ්‍යේෂ්ට පොලිස් අධිකාරිවරයෙක් හා ගිලන් රථයක් ඇතුළු කාර්ය මණඩලයක් වගෙම අතිරේක මහේස්ත්‍රාත්වරයෙක් පවා ඉන්න ඕනෙ. මුලින් අහසට වෙඩි තියන්න ඕනෙ. ඊළඟට රබර් උණ්ඩ පාවිච්චි කරන්න ඕනෙ. අවසාන වශයෙන් ජීව උණ්ඩ පාවිච්චි කරත් අවසර තියෙන්නේ දණහිසින් පහළට වෙඩි තියන්න. මේ මොනවත් නොසලකා මිනීමරු ආවේශයෙන් ක්‍රියා කරන්න තරම් බලවත් වුණු උදවිය දැන් හරි එළිදරව් වෙලා නීතිය ඉදිරියට යන්න ඕනෙ. 

මොන ම ආණ්ඩුවක්වත් කම්කරු අයිතිවාසිකම් බන්දේසියක තියලා ගෙනත් දෙන්නෙ නෑ, ඊළඟ කම්කරු සටනකදි තුවක්කු පත්තු කරන්න කලින් කාටත් මතක් වෙන යමක් බවට මේ සිද්ධියෙ අවසානය පත්වීමෙන් විතරයි රොශේන්ට අවම හෝ සාධාරණය ඉටු කරන්න පුළුවන් ..

No comments:

Post a Comment