කෙල්ලක්ගෙ වටිනාකම තියෙන්නේ කකුල් දෙක මැද්දෙද ?

ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබුනේ පසුගිය 14 වනදාටය. ඒ වෙනුවෙන් මූණු පොත පුරා කෙරුණු නේකවිධ සුබ පැතුම් අතර විවිධාකාරයෙන් කියැවුණ එකම එක පණිවිඩයක්, වඩාත් නිවැරදිව කිව හොත් අවවාදයක් විය. අවවාදය දී තිබුනේ "අයියලා" විසින් "නංගිලා" වෙතට ය. එයින් කියවුණේ "නංගියේ 14 වෙනිදට මොනවා කලත් උඹේ 'වටිනාකම' නැති කරගන්නට එපා" යන්න ය. 


නංගිලාට පමණක් නොව අයියලාගේ ජීවීත වලටත් වටිනාකමක් ඇත. එහෙත් අයියලා විසින් කියන මේ 'වටිනාකමෙන්" අදහස් වන්නේ නංගිලාගේ හොඳ ගතිගුණ, අධ්‍යාපන සුදුසුකම් යන දේවල් නොවේ. ඔවුන් කියන ඒ වටිනාකම ඇත්තේ "හම් කෑල්ලක්" තුල ය. ඒ "හම් කෑල්ල" බිඳී ගිය විට නංගිලාට කිසිඳු "වටිනාකමක්" හිමි නොවන බවත් නංගිලා "අනාථ" වන බවත් මේ අයියලාගේ මතයයි.

එවන් සුචරිතවාදී අයියලා දුටු විට හිතුවක්කාර නංගිලා ට ඇති වූ සිතිවිලි ගොන්න මෙසේ අකුරු කර තබන්නෙමු.

ඒ මාර ප්‍රශ්නයක්..
ගෑල් ළමයෙක් ඉපදුන දා ඉඳං ම පරිස්සම් කරන්නේ මොකෝ..??
ඒකි පිරිමි ළමයෙක් ට වඩා දුර්වල නිසා ද..??
නැත්නම් පිරිමි ළමයිට  තරම් උන් ට මොලේ නැද්ද..??
ඇත්තටම මොකෝ..??

නෑ ඕයි..ඒ මොන බොරු කතා ද
ඒ මොකක්වත් නිසා නෙවේ.
උන් ට තියෙනවලු නේද අර කන්‍යා පටලේ ද මොකක්ද එකක්..??
ඒකලු උන්ට තියෙන වටිනාම දේ.
අර ආත්මීය නවකතා වලත් තියෙන්නේ
"මම මගේ වටිනාම දේ එයාට දුන්න" කියල.

බැරි වෙලා හරි ඕක නැති වුනොත්
ඒකි ගේ මුළු අනාගතේම ඉවරලු..
ඒකි කොච්චර හොඳ වුනත් 
කොච්චර මොනා මොනා වුනත් 
ඒකි ගෙන් ඊට පස්සේ කාටවත් වැඩක් නෑලු..

දැන් තේරුනා ද..??
අන්න ඒකයි පොඩි කාලේ ඉඳලම උන් ව පරිස්සම් කරන්නේ
නැත්නම් කොහොමද ලොකු වුනාම 
ඒකි ව මිනිහෙක් ට දෙන්නේ..??

අඩේ..ඒ කියන්නේ 
ගෑල් ළමයෙක් පොඩි කාලේ ඉඳං පරිස්සම් කරනවා කිව්වට
බලාගෙන යනකොට 
පරිස්සම් කරන්නේ ඒකි ව නෙවේ නේ,
ඒකි ගේ කන්‍යා පටලෙ නේ...

හිතුවක්කාරියෝ