ආදරේ දියලුම පාමුලින් ඉහළට

දියලුම ඇල්ල පාමුලින් කෙළවර වෙච්චි ආදර කතාවක් මේ සතියෙ අහන්න ලැබුණා. කොල්ලට 19යි කෙල්ලට 17යි. දෙපැත්තෙම පවුල් වලින් ආපු විරෝධය මැද්දෙ දෙන්නගෙ තීරණය වෙලා තිබුණෙ එකට ම අවසන් ගමන යන එක.


අර තරම් දිය කඳක් කඩා වැටෙන දියලුම මුදුනෙදි පහළට පනින්න මොහොතකට කලින් මොනවා හිතුණද කියලා දන්නෙ ඒ දෙන්න විතරයි. අඩි 628ක් පහළට පැනපු පිම්ම අපට එකතු කළේ ලොකු කම්පනයක්. ඒ, මිනිස්සු හැටියට අපි කොයිතරම් නම් එකිනෙකාගෙන් හුදෙකලා වෙලා ද කියලා හිතෙන නිසා ...

සමහර වෙලාවට සමහර ප්‍රශ්න වලට ඒ මොහොතේ පෙනෙන මානයක විසඳුමක් නැති වෙන්න පුළුවනි. ඒත් බරපතළ තීන්දුවක් ගන්න කලින් තව කෙනෙක් එක්ක කතාබහ කළාවත් නම් අඩුම තරමෙන් පුංචි උපදෙසක් හරි ලැබෙන්න තිබුණා. තව එහෙම්ම ම යන්න දුර තිබුණු ජීවිත දෙකක් බේරගන්න වචනෙකින් උදව් වෙන්න කෙනෙක් නොහිටි එක දුකක්.

අනිත් අතට ආදරේ කියන්නෙ දියලුමෙන් පහළට පනින්න ඕනෙ එකක් නෙවෙයි, අර දිය කඳට මූණ දීගෙන දියලුම පහළ ඉඳන් ඉහළට නගින්න තරම් ඉවසීමත් ධෛර්යයත් ගෙනත් දෙන්න පුළුවන් එකක්.

මොන ම මොහොතක දි වත් කලබල වෙන්න එපා, හැම ජීවිතයක් ම මේ ලෝකෙට වටිනවා.

මිනිස් ජීවිත දෙකක් බේරගන්න දුවනවා වෙනුවට ඇල්ලෙන් පල්ලට වැටෙන හැටි වීඩියෝ කරගන්න දුවන මිනිස්සු ඉන්න ලෝකෙක අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. ඇත්තට ම මේ ලෝකෙට වැඩි වැඩියෙන් ආදරේ ඕනෙ. මිනිස්සුන්ව ජීවත් කරවන්න, ජීවත් වෙන හැටි කියාදෙන්න ආදරේ ඕනෙ.