පැය බාගේ ආතල් එක අන්තිමේ කාටද ?

රජයේ සේවකයින්ට ලැබෙන දිවා ආහාර කාලය එහෙමත් නැත්නම් ලන්ච් ටයිම් එක පැය බාගයකට සීමා කෙරෙන චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කරලා. ඒත් එක්ක ම නොයෙකුත් පාර්ශ්ව මේ ගැන එක එක අදහස් දක්වලා තිබුණා. 


ඊළඟ මැතිවරණයට පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් වෙන්න බලාගෙන ඉන්න වසන්ත සමරසිංහ දැනටත් වැඩ වර්ජනයක් ගැන තර්ජනයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ වෙලාවට ලංකාවෙ දේශපාලනයේ නැටවෙන ආටක නාටක වගේ ම මේකෙත් එක එක දේශපාලන පක්ෂ වල බැබළෙන චරිත මේ ගැන දුක් ගැනවිලි, ඉල්ලීම්, තර්ජන අරං ඉහළ පුටු ගාවට යාවි, 

අන්තිමේ අහවල් තුමාගේ නියෝගයෙන් ආපහු කෑම පැයම ලැබුණා ය කියලා ප්‍රවෘත්ති ඵල වේවි. ඊටත් පස්සෙ එක එක පක්ෂෙ අය තමන්ගෙ තරු වලට "දිවා ආහාර පැය රැකදුන් අහවලාට ස්තූතියි" කියලා බැනර් ගහගෙන වැඩේ කෙළවර වේවි.

කොහොම නමුත් රාජ්‍ය සේවය ගැන ආයෙත් කතාවක් එළියට ඇදුණු වෙලේ අපිත් නිකමට අපේ අත්දැකීම් පොඩ්ඩක් මතක් කරලා බලමු.

රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගිය මොහොතක අදාල පටිපාටියට අනුව නියමිත කාලයට වැඩේ කරගෙන හිත සතුටින් ගෙදර ආපු දවසක් මතක් කරන සෑහෙන අමාරු වැඩක් නේද ? 

"ආහ්, සබ්ජෙක්ට් එක කරන මිස් පොඩ්ඩක් එලීයට ගිහින්, තව පැයකින් විතර එන්න"
"ඒ මහත්තයා අද මීටින් එකක. හෙට එන්න පුළුවන්ද ?"
"එයාලා ඔක්කොම අහවල් එකට වැඩ මේ දවස් වල, ඒක පහුවෙනකල් නම් මොකුත් ම කරන්න බැරිවේවි"
"අනේ මහත්තයාගෙ ආච්චි නැතිවෙලානෙ, හත් දවසෙ දානෙන් පස්සෙ දවසක තමයි ආයෙ වැඩෙ කරන්න වෙන්නෙ"
"ඒ නෝනා මැටර්නිටි ලීව්, බබා හම්බුවෙනකල් ඉන්න වෙයි"
"මේ වැඩක් පේන්නෙ නැද්ද ? පොඩ්ඩක් අහරෙන් වාඩි වෙලා ඉන්න"
"මේ කෝල් එකක්, පස්සෙ එන්න එන්න. (අනේ එතන සාරි හරි ශෝක් නේද මෙයා ..)

මේ ලිව්වෙ සාමාන්‍යෙන් ඒවගෙ වෙලාවක නිතර අහගන්න ලැබෙන කතා ටිකක්. 

ඒවගේම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙදිබොහොම සැර පරුෂ, ලෙඩා ඉඳගන්නත් කලිං බෙහෙත් තුණ්ඩුව ලියන දොස්තර මහත්තයා ම හවසට ප්‍රයිවට් පැක්ටිස් එකේ දි හරීම කරුණාවන්තව හොඳට ලෙඩ බලලා උපදෙස් දෙනවා දකින්නත් සමහර විට පුළුවන්. ඒකට ම සමානව ඉස්කෝලෙදි විශය නිර්දේශය අතේ තියං කෝච්චිය අල්ලන්න දුවන ලයින් එකෙන් මොලෝ රහක් නැතුව කියවන ගුරුවරිය ම පැය ගාණට අය කෙරෙන හවස ගෲප් ක්ලාස් එකෙදි හොඳට හිතට වදින්න ඒ විෂය කරුණුම උගන්න හැටිත් සමහර තැනක දකින්න පුළුවන්. මේවාට බලපාන මූල්‍යමය කාරණා නැතුවාම නෙවෙයි. නමුත් රජයේ සේවයෙ පිහිට පතාගෙන යන දුප්පත් මනුස්සයෙක්ට විඳින්න වෙන්නෙ නම් පොදුවේ ගත්තා ම ඒතරම් හොඳ අත්දැකීම් නෙවෙයි කියන එකයි බොහෝ අයගේ හැඟීම.

මීට වෙනස්ව තමුන්ගෙ සේවය හරියට ම කරලා, තවත් අමතරව පවා මිනිස්සු වෙනුවෙන් යමක් කරන, කරන්න උත්සාහ කරන රජයේ ආයතන, රජයේ සේවයො නැතුවා ම නෙවෙයි. නමුත් එහෙම තැන්, එහෙම අය විරලයි. 

මේ ලංකාවෙ රාජ්‍ය සේවයේ කෙරෙන්න ඕනෙ වෙනස් කම් බොහෝ තියෙනවා, අවුරුදු කීයකට කලින් වතාවක් ජී.එල්. පීරිස් ඇමති කෙනෙක් හැටියට ම කිව්වෙ ඵලදායීතාවය අනුව බැලුවොත් රජයේ සේවකයෙක් වැඩ කරන්නෙ දවසට පැය තුනහමාරයි කියලා. 

මේ තත්වය ඇත්තක් නම් සීයට දෙසීයකටත් එහා වර්ධනයක් මෙතෙන්ට ඕනෙ වෙනවා. ඒකට සමස්තයක් හැටියට ම මිනිස්සුන්ගෙ ආකල්ප වල පටන් වෙනසක් ඕනෙ. මොකද රජයේ සේවය පිරෙන්නෙත්, ඒ සේවය ලබන්න යන්නෙත් අපේම මිනිස්සු නිසා. 

ඒ වගේ ම මේ තාමත් ගෙවෙන්නෙ මැයි මාසය. මැයි මාසට පටන් ගන්නෙම පැය අටේ වැඩ දිනය දිනාගන්න සටන් කළ කම්කරුවන් සිහි කරලා. ඒ පැය එහෙන් සිහි කරලා මාසෙ ගෙවෙන්නත් කලිං වෘත්තීය අයිතිවාසිකම් වලට අත තියන එක හොඳ දෙයක් නෙවෙයි, ඒ වගෙම තමුන්ගෙ අයිතිවාසිකම් හෝ දැනට වරප්‍රසාද වගෙ මට්ටමට පත්වෙලා තියෙන එව්වා වෙනුවෙන් පෙනී ඉන්න ගමන් ම තමන්ගෙ සේවය ලබන්න එන මනුස්සයාගෙ ඒ සේවය ලැබීමට තියෙන අයිතිවාසිකම දූවිල්ලක් ගාණටවත් නොසලකා හරින එකත් කොහෙත් ම හරියන වැඩක් නෙවෙයි.

මේක ලොකු ගමනක්. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, ලකාවෙ රාජ්‍ය සේවය දැනටත් අසාධ්‍ය ලෙඩෙක් මට්ටමෙ තියෙන්නෙ, ඒකට නිසි ප්‍රතිකාර නිසි විශේෂඥයො ලව්වා කරනවා වෙනුවට නිකම් මෝඩ ජෝක් දාලා වටේ මිනිස්සු හිනස්සන්ටයි ලෙඩාව ඔරොප්පු කරන්නටයි යන අන්තිම නෝන්ඩි වැඩක් කියලා තමයි. 

No comments:

Post a Comment