සමාව සහ පමාව - උදයා තාමත් සිපිරිගෙදරය

එදා ආදරවන්තයින්ගෙ දවස. එයා ගෙදරින් එළියට බැස්සෙ වැඩකරන දියමන්ති කපන කම්හලේ යාළුවො ටිකත් එක්ක සීගිරිය බලන්න යන්න. ඈත මඩකලපුවෙ කෙළවරක මිනිරන් පාටින් ඉපදුණු එයාට තමුන් ඔපදාන දියමන්ති එක්ක තියෙන තරම්ම දුරක් අපිට සාමාන්‍යයි කියල හිතෙන දේවලටත් තිබුණා.
ඒ අපි අවුරුදු ගාණක් යුද්දය නිසා දෙපැත්තට හිර වෙලා හිටපු දෙගොල්ලක් නිසා. මහාමේරු පර්වතේ තරම් නොකීවත් අඩුම ගාණෙ සීගිරි පර්වතේ තරම්වත් පරතරයක් එයාලයි අපියි හැදුණු වැඩුනු විදිහෙ වෙනසක් හැටියට තිබුණා.

කැටපත් පවුර ළඟින් යනකොට ඈ දැක්කෙ එතන තිබුණු නොයෙකුත් කුරුටු ගෑම්. රජකාලෙ එව්වමත් නෙවෙයි, මෑත කාලෙ සිංහලෙන් ඉංග්‍රිසියෙන් කටු ගෑව දේවලුත් එතන තිබිලා තියෙනවා. කවුරුත් එපා කියන්න නැති නිසා ම ඈ කොණ්ඩා කටුවකින් ඇගේ කුරුටු සටහනකුත් එතැන ලියනවා. ඒත් ඒ කොණ්ඩා කටු ඉරි කීපයෙන් ඈ ඇගේ අම්මාගෙන් අවුරුදු දෙක්කට වෙන් කෙරෙනවා කියලා දන්නවා නම් ඈ කීයටවත් ඒක කරාවිද ?

නොදන්නා පළාතක නොදන්නා උසාවියක නොදන්නා බාසාවකින් දීපු නඩු තීන්දුවකින් ඈ අනුරාධපුර බන්ධනාගාරයට නියම උනාට පස්සෙ මේ ගැන කතාවක් ඇති උනා . කොටසක් ඉතිහාසය කෙළසීමට එරෙහිව ඈ සීගිරි ගලට තියා මැටි ගැහුවත් මදි වගේ කතා කිව්වා. තවත් කොටසක් හදවත් පෙරටු කරගෙන ඈට සමාව දිය යුතුයි කියන තැන හිටියා. සයිබරය ඇතුළෙත් මේ සහෝදරකම ගලා හැළුණා. අවසානයේ දින ගණනාවකට පසුව ඈට සමාවක් දෙන්න ජනාධිපතිවරයා එකඟ වුණා. 

අපි හැමෝම සතුටු උනා. 

ඒත් ඈ තාමත් බන්ධනාගාරයේ. ජනාධිපති සමාවේ නිල නියෝගය තාමත් බන්ධනාගාරයට ලැබිලා නැහැ ලු. කොළඹ ඉඳන් අනුරාධපුරයට අධිකරන ඇමතිගේ නියෝගයක් යන්න කී දවසක් ගතවෙනවද කියලා තීරණය කෙරෙන්නෙ සිද්දියට දෙන ප්‍රමුඛතාවයත් එක්ක මිසක් වෙන දෙයක් එක්ක නෙවෙයි. 

සමාව ලැබිලත් ඈ තාම දඬුවම් විඳිනවා. ඈ රැකියාවෙන් උපයපු යමකින් එදාවේල ගැටගහගත්තු ඇගේ අම්මත් දඬුවම් විඳිනවා. කෝටි ගණන් වියදම් කරන්න හැකියාව තියෙන තෝරු මෝරු රට ම උලා කාලත් නීතියේ සිදුරු අස්සෙන් රිංගාගෙන සැපට ඉන්නවා.

සමාවක් ඉල්ලලා කරුණු කියලා ඒත්තු ගන්වන්න හරිම අමාරු උනාට, පමාව ගැන කියන්න නිදහසට කාරණා නම් අනන්තවත් ඇති අදාල බලධාරීන් ගාව. ඒක අපේ රටේ හැටිනෙ. ඒ අමාත්‍යාංශෙ වැඩ කරන, තමන්ටත් දරුවො එන්න එක අම්මෙක් තාත්තෙක් ඉදිරිපත් වෙන්නෙ නැති වේවිද ඈට උදව් කරන්න. අහස අල්ලන්න නෙවෙයි .. මාස තුනකින් පස්සෙවත් ගෙදර යන්න.

රෝම ලන්දේසි නීතියේ රෙගුලාසි වගන්ති වලට හෘදසාක්ෂිය යට නොකරපු සීගිරි අප්සරාවන්ගෙ ඇස් වලත් කඳුළු ඇති සින්නතම්බි උදයා ශ්‍රී නමට. හෙට අනිද්දාවක ගියොත් බලන්න.