උන්ගෙ නංගිලා විතරයි නංගිලා .. !

මේ සයිබර් අවකාශයේ දීම නිතර මුනගැහෙන අපේ ම සහෝදරියන් තුන් දෙනෙකුට පසුගිය සතියක කාලයක් තිස්සේ අන්තිම නින්දිත විදිහට මඩ ගහන හැටි බලන් ඉන්න සිද්ද වෙච්චි එක මහා කණගාටුවක්. බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් යොදාගෙන අන්තිම පහත් තුච්ඡ විදිහට පහර කන්න එයාලට හේතුව උනේ හිටපු මහරජාණෝ ට විරුද්ධව දේශපාලනය කරපු එක. 



බ්ලොග් අඩවියත් ෆේස්බුක් පිටුවත් රිපෝට් කළාට ඒවා තවම ඉවත් කෙරුණෙත් නැහැ. 

දේශපාලනික ප්‍රශ්නයක් වෙනුවෙන් කෙල්ලෙක්ට පහර දෙන්න එයාව ගණිකාවක් කියලා හඳුන්වන තැනට යනකල් යන්න පුළුවං කම තියෙන්නෙ ගැහැණු හෝ පිරිමි හෝ දෙකට ම අයිති නොවෙන හෝ ශරීර කූඩුවක්, කිසිම වැදගැම්මකට නැති නිකම්ම නිකම් මස් ගොඩක් අස්සෙ හංග ගත්තු පරාජිත, දීන, නිහීන, අධම ආත්මයක් තියෙන විකෘති සත්වයෙක්ට ම තමයි. 

තමුන්ට සහෝදරියක්, මිතුරියෙක්, පෙම්වතියක් කවුරුත් ම නැතිනම් අම්මෙක්වත් ඉන්නවා කියලා මතකයක් තියෙන, ඒ මොන ම ආකාරයකින් හරි ගැහැණු ආත්මයක් එක්ක ආදරණීය ගනුදෙනුවක් තියෙන කෙනෙකුට පුළුවනිද තවත් ගැහැණියක් වෙසඟනක් හැටියට හඳුන්වලා දෙන්න ? 

මෙතෙන්දි ඇත්ත කතාව වෙන්නෙ උන්ගෙ අම්මලා විතරයි අම්මලා, උන්ගෙ නංගිලා විතරයි නංගිලා, උන්ගෙ පෙම්වතියො විතරයි පෙම්වතියො .. අනිත් හැමෝම ලිංගික කෙළිබඩු හැටියට හඳුනා ගන්න විකෘති මානසික තත්වයක් තියෙන සත්ව කොට්ඨාසයක් මෙහෙම වැඩවල යෙදෙන එකයි. 

ලිංගික ශ්‍රමිකයින් කියන්නෙත් පීඩාවට, අතිශයින් පීඩාවට පත් වෙන මිනිස් කොටසක් මිසක් අපරාධකරුවන් නෙවෙයි. ඒත් සමාජයක් ඉදිරියේ අපහාසයට ලක් කිරීමේ උවමනාවෙන් ඔබේ ම සොයුරියකගෙ ෆොටෝ එකකට යටින් අහවල් මුදලකට මිල දී ගන්න පුළුවනි කියලා ප්‍රසිද්ධ කෙරෙනවා නම් ඒක ඉවසන්න පුළුවනිද ?

සයිබරය කියන්නෙ බොහොම විවෘත අවකාශයක්, එතන තියෙන නිදහස නිසා ම බොහෝම නිර්මාණශීලී දේවල් එතනින් එළිදක්වන්න ඉඩ ලැබිලා තියෙනවා. ඉතින් ඒ සුන්දර අවකාශය මානසික රෝගීන් කිහිපදෙනෙකුට කඩා පැනලා විකාර නටන්න ඉඩ දෙන්න බැහැනෙ. මේ වගේ ලෙඩ්ඩු දැක්ක තැනක රිපෝට් කරන්න. සයිබරයේ සහෝදරත්වය ඔයාලගෙ ම නංගි වෙනුවෙන්, අක්කා වෙනුවෙන්, මිතුරිය වෙනුවෙන්, පෙම්වතිය වෙනුවෙන්, අම්මා වෙනුවෙන් එකතු කරන්න. 

පිරිමිකම තියෙන්නෙ උඩු රැවුලෙයි කියල හිතාගෙන ඉන්න, තමුන් දේශපාලනිකව වේසාකමේ යන ගමන් විරුද්ධමත දරන ගැහැණුන් ලිංගික ශ්‍රමිකයින් හැටියට වෙන්දේසියෙ දාන්න හෙවත් පිම්පිකම කරන්න පේජ් හදාගෙන දඟලන මල්ලිලාට කියන්න තියෙන්නෙ මෙච්චරයි, කකුල් දෙක මැද්දෙන් පොළවට ලම්භකව එල්ලෙන කෑලි බෑලි ටික තිබ්බ පමණින් පිරිමි වෙන්නෙ නෑ .. ලෝකෙ ජීවත් වෙන හැටි ඉගන ගනිල්ලා ... තවත් මනුස්සයෙකුට ගැහැණියකට ගරු කරලා ගෞරවය උපයා ගන්න ඉගෙන ගනිල්ලා .. 

උඹලා නිකම්ම වහල්ලු නෙවෙයි .. අන්තඃපුර වල වැඩට යෙදෙව්ව කප්පාදු කරපු වහල්ලු ! 

No comments:

Post a Comment