අම්මාවරුන් කොහොමද මතු බුදුවෙන්නේ ??

අද මව්වරුන්ගේ දිනය. අම්මාවරුන්ගෙ දවස. ඇත්ත ට ම දරුවෙක් හදා වඩා ගන්න අම්මා කෙනෙක් කොයි තරම් නම් දුකක් විඳිනවාද ?



මේ කතාව ඒක ගැන නෙවෙයි. අවුරුද්දකට ඇයි අම්මාවරුන් වෙනුවෙන් එක දවසක් ? කාන්තාදින, මව්වරුන්ගේ දින, ගැහැණු ළමයින්ගෙ දින මෙව්වා අස්සෙ අවුරුද්දෙ ඉතිරි දවස් 364ක් ඒ ගැහැණුන් පිරිමි ලෝකයක් අතින් වධහිංසාවට, නොසලකා හැරීමට, පීඩනයට, දූෂණයට පත්වෙන්න නියම වෙලා තියෙනවා. 

අද දවසෙ අම්මලා වෙනුවෙන් වැය කෙරෙන ඩේටා ටිකෙ ඉඳන්, මල් පොකුරු, කාඩ්, සිංදු, තෑගි බෝග රෑ බෝ වෙද්දි සල්ලි කොළ වලට හැරිලා කාගෙ කාගෙ හරි ලාච්චු වලට ගිහින් හෙට උදෙ වෙද්දි ආයෙත් පරණ කවුරුත් ගණන් නොගන්න අම්මෙක් ඉතුරු වෙනවා. 

"අම්මාවරුන් පමණද මතු බුදුවෙන්නේ" කියලා ඇහුවට "ගෙදර බුදුන් අම්මා" කියලා කිව්වට අම්මට උනත් බුදු වෙන්න ඕනෙ නම් පිරිමි ආත්මෙක ඉපදෙන්න වෙනවා, ඒකයි මේ ලෝකෙ දැනට තියෙන කතාව. අනිත් අතට බුදුවෙන්න හැමදෙයක් ම අතාරින්න ඕනෙ නම්, තමුන්ගෙ දරුවා ගැන තියෙන ආදරේ අතෑරලා බුදු වෙන්න, නිවන් දකින්න කොයි අම්මටවත් බෑ. 

මේ සටහන මේ ලෝකෙ අනන්ත දුක් විඳගෙන දරුවෝ වදන හදන ලොකු මහත් කරන අම්මලා වෙනුවෙන්... පොදුවේ ගැහැණුන්ට සලකන්න ගරු කරන්න ආදරය කරන්න රැකබලාගන්න ඉගෙන ගත්තු පිරිමි ලෝකයක් හැදෙන තුරු අපිත් බොරුවට එක දවසක් අම්මලාව සමරමු ! හැපි මදර්ස් ඩේ !!  

No comments:

Post a Comment