අද විත්‍යා .... හෙට කවුද ?

සිවලෝගනාදන් විද්‍යා පහුගිය 13 වෙනිදාත් ඉස්කෝලෙ යන්න ඇත්තෙ වෙනදා වගේම දාහක් බලාපොරොත්තු හිතේ තියාගෙන වෙන්න ඇති. ඒත් යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් මහා විද්‍යාලයේ උසස් පෙළට ඉගෙන ගත්තු ඈ ට වෙනදා පුරුදු විදියට හවස ගෙදර එන්න ලැබුණේ නෑ.
ඈට සිද්ධ වුණේ පාපතර නරුම පාහරයින් නවදෙනෙකුගේ අපහරණයකට ලක් වෙලා අවසන් ගමන් යන්න. 

වයස 18ක කෙල්ලෙක් අතපය බැඳ දාලා නව දෙනෙක් රංචු ගැහිලා දූෂණය කරද්දි මොනතරම් නම් වේදනාවක් විඳින්න ඇතිද ? එයාගෙ විලාපය ගොළු කරන්න ඒ නරුමයෝ ඇගේ කටට රෙදි කෑලි ඔබලා තිබුණා. පුංකුඩුතිව් 9වෙනි පටුමඟ ආසන්නයේ කැලෑවක තිබිලා ඝාතනය කෙරුණු එයාගෙ සිරුර හමුවුණේ පහුවෙනිදා උදේ. හිස තදින් යමක වැදීමෙන් මොළයට ලේ වහනය වෙලා සිදුවුණු මරණයක් කියලා මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුණා.

මිනිස් නමටත් නින්දාවක් වෙච්චි ඒ තිරිසන්නු එයාව දූෂණය කරන අතරවාරේ එකෙක් ඒක වීඩියෝ කළාය කියලත් එළිවුණා. ඌ ස්විට්සර්ලන්තෙ ඉඳලා ආපු එකෙක්ලු. මෙහෙ තරම් සීමා බන්ධන නැති තැනක ලෝකෙ ජීවත් වෙන්න ඉඩක් ලැබිලත් ඌට මිනිස්කම ගැනවත් ලිංගිකත්වය ගැනවත් යමක් ඉගෙන ගන්න බැරිවෙලා .

සමාන්‍ය මානසිකත්වයක් තියෙන පිරිසකට මේවගේ දෙයක් කරන්න තියා හිතන්නවත් පුළුවනිද ? 

සෙක්ස් කියන්නෙ මොකක් හෝ සිදුරකට තමන්ගේ අහවල් එක ඔබලා තමුන්ට යනකල් හොල්ලන එක විතරයි කියලා හිතාගෙන ඉන්න අඬුපඬු ටිකෙන් විතරක් පිරිමි වෙන කොටසකුත් ඉන්නවා. බොහෝ  සත්තුන්ට ලිංගික වුවමනාවන් එන්නෙ වර්ගයා බෝකරන්න සුදුසු පරිසරය හැදෙන අවුරුද්දෙ එක කාලෙකට විතරයි. නමුත් මිනිස්සුන්ට එහෙම නෑ. 

හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා අදාල වයසකදි ලිංගිකව පරිණත වෙච්චි දා පටන් එයාලා ලිංගිකව සක්‍රීයයි. ඒ ඒ තත්වයන්ට අදාලව පාලනය වියයුතු ක්‍රියාකාරකම් පාලනය වෙන්න සංස්කෘතික තහංචි හැදිලා තියෙනවා. මේවා කාලෙන් කාලෙට අනුරූපව වෙනස් වෙනවා උනත් මූලිකව කොතැනත් රැකෙන තහංචි තියෙනවා. 

මිනිස්සු හැටියට සලකන්න පුළුවං වෙන්නෙ ජීවවිද්‍යාත්මකව විතරක් නෙවෙයි සමාජීයවත් මේ ප්‍රමාණයට පරිණාමය වෙච්චි උදවිය. ලිංගිකව සක්‍රීය වෙන වයසෙදිම ඒ ළමයින්ට සෙක්ස් කියන්නෙ මොනවගෙ දෙයක්ද ? ඒක කරන්නෙ කොහොමද ? නොකරන්න ඕනෙ මොනවද ? කියන දේවල් ගැන විධිමත් අධ්‍යාපනයක් ලැබෙන්න ඕනෙ. අපෙ වගෙ රටවල් වල සෙක්ස් කියන්නෙ එළිපිට කතා කෙරෙන දෙයක් නෙවෙයි, ඒකෙන් වෙන්නෙ අවිධිමත් විදිහට නිල් චිත්‍රපටි හරහා ලිංගික අධ්‍යාපනය හොයන්න උත්සාහ කෙරෙන එක.

නිල් චිත්‍රපටි කියන්නෙ ලෝකයේ විශාල ආදයමක් උපයන ව්‍යාපාරයක්. ඒවායෙ අඩංගු වෙන්නෙ විකිණීම සඳහා ම නිර්මාණය කෙරෙන කෘතීම දර්ශන අඩංගු "අධි රංගනයක්" මවා පෙන්වන විකෘතියක් මිසක් ඇත්ත සෙක්ස් නෙවෙයි. ඒවා බලලා මොළේ කචල් කරගත්තු පිස්සොත් සමාජයේ ඉන්නවා.

අර තියෙන අන්ත පසුගාමී ආගමික සංස්කෘතික බැමිවලින් බැඳලා දාලා ඇති ආශාවන් සමහර වෙලාවට මේවගේ සිද්ධි හරහා එළියට පනිනවා. පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න විකෘතියත් වැඩි වෙනවා. අසරණ අහිංසකාවියො, විතරක්ම නෙමෙයි දැන් දැන් අහිංසක පිරිමි දරුවන්ගෙත් මේ විකෘති මානසික සත්තු  බිලි අරන් ජීවිත කෙළවර කරනවා. මේවා වෙනස් කරන්න නම් අධ්‍යාපන ක්‍රමයෙ වෙනසක් වෙන්න ඕනෙ. ලිංගිකත්වය වගෙම එකිනෙකාට ගරු කරන එක, මිනිස් අභිමානය රකින එක, නීතිය වගෙ බොහෝ දේවල් උගන්නන්න ඕනෙ. 

ඒ වගේම තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය කියන එක කොතෙක් නම් සාමාන්‍යකරණය වෙලාද කියන එක. තිස් අවුරුදු යුද්ධයකට මැදිවෙලා හිටපු රටක් හැටියට මිනී මැරුමක් කියන එක නිකම්ම නිකම් තවත් එක සිද්ධියක් වෙන ගාණට අපි ඇවිත්. ඊට මෙහායින් කාන්තාවන්ට, දරුවන්ට එරෙහිව කෙරෙන අපරාධ ගැන කියන්න ඕනෙ නෑ නෙ නේද ? ස්ත්‍රී දූෂණ සීයක් කරලා ඒක සමරන්න පාටි දාපු දේශපාලුවො ඉන්න රටක් මේක. ඒවට උතුරු දකුණු බේදයක් නෑ. 

සිද්ධියට අදාලව උතුරෙ මිනිස්සු කම්පනයට පත්වුණා. අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන්න කියලා එයාල උද්ඝෝෂණය කරා. පහරදීම් ගිනිතැබීම් පවා වාර්තා උණා. ළපටි අතු කඩා දාපුවාම ගස්වැලුත් හූල්ලනවයි කියලයි කතාවට කියන්නෙ. ඉස්කෝල කෙල්ලෙකුට මෙහෙම අපරාධයක් කරා ම කොයි ගමේ මිනිස්සුද ඉවසන්නෙ? මේක අස්සෙ කොටි හෙවනැලි පෙන්න පෙන්නා බොරදියේ මාළු බාන්න එන දකුණෙ අයියලාගෙන් අහන්න තියෙන්නෙ තමුන්ගෙ නංගිකෙනක්ට මෙහෙම දෙයක් උනා නම් කොහොමද හැසිරෙන්නෙ ? කියලා තමයි.

මිනිස්සු නීතිය අතට ගන්න ඉදිරිපත් වෙන්නෙ නීතිය ක්‍රියාත්මක වෙන හැටිය ගැන විස්වාසය කඩන් වැටුණා ම. මෑත කාලෙක ලෝකය ම හොල්ලපු සිදුවීමක් උනේ ඉන්දියාවෙදි වෛද්‍ය සිසුවියක් බස් එකක් ඇතුළෙදි සමූහ දූෂණය කරලා මරපු එක. එතැනදි ඉන්දියාව විශේෂ නඩු විභාගයක් කඩිනමින් තියලා වරදකරුවන්ට මරණ දඬුවම නියම කළා. මේ සිදුවීමෙදි හෝ ලංකාවෙත් අන්න ඒක කෙරෙන්න ඕනෙ.

සාමාන්‍ය හැටියෙන් අවුරුදු ගණන් ඇදෙන නඩු විභාග නැතිව ඉක්මන් නඩු විභාගයක් පවත්වලා මේ නරුම තිරිසනුන්ට උපරිම දඬුවම් නියම කෙරෙන්න ඕනෙ. අනාගතයෙදි මෙවැනි සිද්ධි ඇතිවෙන්න තියෙන ඉඩ ඇහිරෙන්න අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙන්න ඕනෙ. සංස්කෘතික ගල්ගුහා අස්සෙ හිරවෙලා නොඉඳ එළියට එන්න ඕනෙ. කරන්න දේ බොහොමයි. 

මේවා පමාවෙන තරමට ඔයාගෙ නංගිත්, ඔයාගෙ දුවත් අනාරක්ෂිතයි ... 

No comments:

Post a Comment