ආදරය වෙනුවෙන් ජීවත් වෙන්න

තවත් ආදර කතාවක් කුලියාපිටිය නගර සභා පිට්ටනිය ළඟ දි වහ බෝතලයකින් කෙළවර වෙලා කියලා ප්‍රවෘත්තියක් දැක්කා. කොල්ලට අවුරුදු 20යි. මැරෙන්න කලිං එයා මෙහෙම ෆේස් බුක් සටහනක් තියලා ගිහින් තිබුණා ... 


ඔයා සතුටෙන් ඉන්න...
මම දුක් විදින්නම්....
ඔයා ආදරේ කරන්න....
මම විදවන්නම්....
ඔයා කන්න...
මම නොකා ඉන්නම්....
ඔයා හිනාවෙන්න....
මම අඩන්නම්....
ඔයා ජීවත් වෙන්න...
මම මැරෙන්නම්...


" ඔයා ජීවත් වෙන්න, මම මැරෙන්නම්" කිව්වා ම එතන අනෙකා වෙනුවෙන් කෙරෙන පරිත්‍යාගයක් වගෙ එළියෙන් පෙනුනත් ඇත්තට ම ඇතුළෙන් තියෙන්නෙ මොනවද ? මේ කොල්ලා මැරෙන්නෙ කෙල්ලට තමුන්ගෙ අවයව ටික දන් දෙන්න නෙවෙයිනෙ.

 එයා වහ බොන්නෙ කවුරු නමුත් ඒ කෙල්ලත් එක්ක ජීවත් වෙන්න එයා මවා ගත්තු හීන ටික බිඳ වැටුණු නිසා. තවත් කෙනෙක් ඒ හීන අයිති කරගන්න දාක බලා ඉන්න බැරි නිසා. ඛේදවාචකයක් තමයි, ඒත් එතන තියෙන්නෙ දැඩි ආත්මාර්ථකාමී හැඟීම් ටිකක් විතරයි නේද ?

ආදරේ කියන්නෙ වහ පෙව්වත් විස වෙන එකක් නෙවෙයි ... ආදරේ කියන්නෙ එල්ලිලා මැරෙන එකක් නෙවෙයි, එල්ලිලා ජීවත් වෙන එකක්. ඒ කිව්වෙ ආදරේ එල්ලිලා ජීවිතේ ගැටගහගන්න පුළුවන් එකක්. ලෝබකම, ඉරිසියාව කොයි ආදර කතාවෙත් නැතුවා නෙවෙයි, ඒත් ඒක පාලනය කරගන්න බැරි නම් එතන ආදරේ ඉතුරු වේවිද ?

සියදිවි හානිකරගැනීම් වලින් ලෝකෙ ඉදිරියෙන් ම ඉන්න රටක් අපි. විශාදය වගෙ මානසික රෝගී තත්වයන්, ආර්ථික පීඩනය, සංස්කෘතික පීඩනය වගෙ ගොඩක් සාධක මේකට බලපානවා. ඒ වගේ ම පහුගිය වසර ගාණක් යුද්ධමය මානසිකත්වයකට හුරුකරලා තිබුණු රටක් හැටියට මරණය කියන එක බොහොම සාමාන්‍ය දෙයක් තරමට ම අපි අතරෙ පැතිරිලා. පැනලා යනවා වෙනුවට ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ධෛර්යය තියෙන තරුණ පරපුරක් හැදෙන්න නම් අපි හිතන විදිහෙ ලොකු වෙනසක් වෙන්න ඕනෙ. 

ඒ වගෙම ආදර කතාවල එන බොහෝ ප්‍රශ්න කතා කරලා විසඳගන්න පුළුවන් ඒවා, අනික පුංචි පුංචි ආශ්චර්යයන් ඕනෙ මොහොතක වෙන්න පුළුවනි.... (ඒක කිව්වෙ ආගමික තේරුමකින් නෙවෙයි). ඉතිං, බලාපොරොත්තු සහගත වෙන්න, ආදරය කරන්න, ආදරය වෙනුවෙන් ජීවත් වෙන්න ...