හු** දන්සැල්!

මේ දවස් වල අපේ ප්‍රධානම මාතෘකාව දන්සැල්. දවල් වේලයි රෑ වේලයි ගොඩ දාගන්න ට්‍රයි කරන ගමන්ම දන්සැල් යනවා කියන එකෙත් තියෙන්නේ වෙනම ආතල් එකක්. ඒ ආතල් එක ගන්න අපිත් ඊයේ ගියා දන්සැල් කන්න. 

සල්ලි එකතු කරලා, කෑම හදලා, පාරවල් අයිනෙ හට් ගහලා, කොඩි වනලා වාහන නවත්තලා කෑම බෙදලා දෙන එක වගේ ම පාර දෙපැත්තෙ තියෙන සැරසිලි බල බලා මඟින් මඟ නැවති නැවති දකින දකින දේ සප්පායම් වෙන ගමන් වෙසක් බලන්න කණ්ඩායම් හැටියට ඇවිදින එකත් තාමත් අපි අතරෙ යන්තමින් හරි ඉතුරු වෙලා තියෙන සාමූහිකත්වයක ලකුණක්. 

තවත් මනුස්සයෙක්ගෙ ඇහැ පිනවන්න සැරසිල්ලක්, තවත් මනුස්සයෙක් දිව පිනවන්න කෑම වේලක් වගේ ම දෙන අයගෙත් ලබන අයගෙත් දෙගොල්ලොන්ගෙ හිත් පිනවන්න ආගමික උත්සවයක් හැටියට හරි මෙහෙම ඉඩක් ලැබෙන එකත් ලොකු දෙයක්. 

කෝච්චිය පස්සෙන් පන්නනවා වගේ ජීවිතේ එදාවේල ගැටගහගන්න දුවන්න නියමිත වෙලා ඉන්න අපිට මිනිස් බැඳීම් කොයිතරම් නම්සුන්දරයිද කියලා මතක් කරලා දෙන්න, අපිත් ජීවත් වෙනවා කියලා හැඟීමක් දැනෙන්න මේ වගේ දවස් කොච්චර නම් උදව් වෙනවද ?

එදා සිසිල් බීම, බත්, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස්, අයිස්ක්‍රීම් වගෙ ජාති අතරෙ තැඹිලි, කුරුම්බා, මඤ්ඤොක්කා, රොටි, කොස් වගෙ දන්සල් වලට තිබ්බේ පට්ට ඉල්ලුමක්.  දන්සැල් කල්චර් එක දැන් දැන් වෙනස් වෙලා.  දන්සැල් දැන් පෙට්ට්‍රොල්, සිම්කාඩ්, රීලෝඩ් වගෙ දන්සැල් විතරක් නෙමෙයි හුලං දන්සැල් කාර් වොෂ් දන්සැල් දක්වා වැඩේ සංකීර්ණ වෙලා.  අවශ්‍යතා සංකීර්ණ වෙනකොට දානය කියන එකත් වෙනවා.

සමහරු හොඳ හිතින් මේවා කරන අතරෙ දන්සල් බිස්නස් කරන අයත් නැතුවා ම නෙවෙයි, ඊයේ රාජගිරියේ දුන්නා බීම දන්සැලක්. ජාතියේ නමනම් මතක නැහැ.  හැබැයි මේ බ්‍රෑන්ඩ් එක ෆේමස්.  එයාලගේ අලුත් ප්‍රොඩක්ට් එකක් හඳුන්වා දීමක් විදිහට තමයි ප්‍රෙමෝෂන් පාර ගියේ. 

 පොඩි පොඩි තැන්වල පොඩි පොඩි ගනිදෙනු යද්දි ලොකු ලොකු ව්‍යාපාරිකයො වෙසක් එක තමුන්ගෙ මාකටිං වැඩට යොදාගන්නවා. කොහොමත් මේක කච්ඡපුට ලා නැති ලෝකයක් නිසා අන්තිමේ සේරිවාණිජලා අපිට වලළු පෙන්නලා තලියත් අරං නිවනුත් යන කතාවක් තමයි දැන් වෙන්නෙ. 

වෙසක් බලන්න යන ගමන හැලෝවින් එකත් පටලා ගත්තු සමහරක් උදවිය විකාර වෙස් මූණු දාගෙන පාරෙ කෙල්ලෙක්ට යන්න නොදී පස්ස මිරිකලා යන  වෙලාවලුත් තියෙනවා, අවසානයේ එයාලට කියන්න තියෙන්නෙ, "කෙල්ලොත් එන්නේ  වෙසක් දවසෙ වෙසක් බලලා පුංචි හිතේ නිදහසක් සතුටක් විඳලා යන්න මිසක් කාටවත් බයිට් එකක් වෙන්න නෙවෙයි, වෙසක් දවසක වත් තවත් මනුස්සයෙක්ගෙ නිදහසට ගරු කරන්න ඉගෙන ගන්න" කියලා තමයි. 

ඒක ඉතින් පරණ පුරුද්දට වගේ ලියැවුණ කතාවක්. මේහෙම ලිව්ව කියල පස්ස මිරිකන එක නවතින්නේ නෑ. ගැණු අපි හැමදාම බයිට් එක තමයි.. 

ඒක කොහොම උනත් වෙසක් එකට යන්නම ඕන තැන තමයි ගෝල් ෆේස් !   එතකොට තමයි තේරෙන්නේ මේරටේ සිංහල බෞද්ධයා ගේ සැබෑ ස්වරූපය මොක්කද කියන එක.. එළකිරි.. 

ඉතිං මේ දන්සල් කෙරුවාව රටේ දේශපාලනයටත් දැන් ප්ලග් වෙමින් තියෙනවා. දේශපාලකයොත් දැන් දන්සල් දෙන්න පටන් අරගෙන. මේ කියන්නේ කන බොන දේවල් ගැන නෙවෙයි. ව්‍යවස්ථාව ගැන. හෙට අනිද්දට 20 වෙනි සංශෝධනයත් එනවලු. ඊටත් පස්සෙ අලුත්ම ව්‍යවස්ථාවකුත් එනවලු. ඒකටත් තව ව්‍යවස්ථා සංශෝධනත් ඒවී.  මේ යුගය යනු ව්‍යවස්ථා දන්සල් දෙන යුගයක්. ඒ ඒ අයට ඒ ඒ ව්‍යස්ථා තමන්ට කැමති කැමති විදිහට කපල කොටල ව්‍යවස්ථා හදලා දෙනවා. ඒත් රටට ඕනෙ මොකකද කියන ඒක විතරක් නෑ..

No comments:

Post a Comment