යුද්දෙන් දින්නේ කවුද?

යුද්ධ ජයග්‍රහණයේ හයවෙනි සැමරුම දිග හැරෙන්නට නියමිතයි. කවුරු කොහොම කොඩි උස්සන් බෙරගහගෙන නටාගෙන දඟළගෙන ඩෙඟා දාගෙන ජයග්‍රහණයක් සැමරුවත් යුද්ධෙන් වැඩියෙන් ම පැරදුණෙ දෙපැත්තෙ ම ගැහැණු. යුද්ධය පවතිද්දිත් ඉවර කෙරෙද්දිත් දිනද්දිත් පරදිද්දිත් දෙපැත්තෙ ම ගැහැණු ආයෙ ආයෙත් පැරදුණා. 


යුද්ධය පවතින මොහෙතෙ කිසි වෙනසක් නැතුවම දෙපැත්තෙ ම සෙබළියෝ ඉහළ නිලධාරීන්ගෙ ලිංගික බලපෑම් වලට යට වෙන්න ඇති. ඒකට හමුදාමය විනය වගෙම විමුක්තිකාමී කැපකිරීම වගෙ සංකල්ප උනත් පාවිච්චි වෙන්න ඇති. ඒවගෙම දෙපැත්තෙ ම සෙබළු තමන්ගෙ හමුදා බලය පාවිච්චි කරලා අහල පහළ ගැහැණුන්ව ලිංගිකව හූරා කන්නත් ඇති. අනන්තවත් ඒක සිද්ද වෙන්න ඇති. 

සැකකාරියන් හැටියට හමුදාවට අහුවුණු විරුද්ධ පාර්ශ්වයෙ සාමාජිකාවන්ගෙ ඉරණම පස්සෙ කාලෙක හමුදා සෙබළුන්ගෙ ජංගම දුරකථන අස්සෙන් එළියට ආවා. නිරුවත් මළ සිරුරු වට කරගෙන ෆොටෝ ගහන හැටි, පියයුරු කපා දාලා තිබුණු මළ සිරුරු ... කොහොමත් ප්‍රේමවතී මනම්පේරි අපට අමතක නැති නිසාම ඒ ගැහැණුන්ට මොනවගෙ දේවල් වෙන්න ඇතිද කියන එක පැහැදිලියි. 

මරාගෙන මැරෙන මිනිස් බෝම්බ හැටියට ආපු ගැහැණු පිපිරිලා දූවිලි වෙන හැටි අපි දැක්කා. ඉලක්කය මොකක් උනත් ඊට කිසිම සම්බන්ධයක් නැති ගැහැණුත් මඟතොටේදි මේ බෝම්බ වලට බිලි උනා. මැරුණු අය වාසනාවන්තයි කියලා හිතන්න පුළුවන් තරමේ ජීවිතයක් අවසානෙ උරුම වුණු ගැහැණු කොටසක් අන්තිමෙ ඉතිරි උනා. අපෙ රටේ අපේ ම ගැහැණු. 

සැමියා, පියා, පෙම්වතා, හිත මිතුරා .. මේ කවුරුත් ඉතිරි නොවුණු වට පිටාවක අනාථයින් හැටියට කොටසක් කඳවුරු වල ගාල් කෙරුණා. සමහරුන්ට ඇඳිවත විතරයි. ඇඳගෙන ඉන්න එකම ඇඳුම පිටින් නාලා ඇවිත් වේලෙන්න අවිවේ හිටගෙන හිටි කෙල්ලන්ගෙ අනිත් සනීපාරක්ෂක වුවමනාවන් මොකුත් ම ඉටු නොවුණු බව කියන්න ඕනෙ නෑ නෙ. කෙල්ලෙකුට වුවමනාවන් කීයක්ද ? ඒ අතරින් සමහරු පැවතිච්චි තත්වය අස්සෙ බලකෙරුණු විදිහට ළමා ගැබිණියො, ළමා මව්වරු වෙලා හිටියා. තමනුත් ළමයෙක් වෙලා ඉන්න වයසෙදි තාත්තෙක් නැති ළමයෙක් හදාගන්න සිද්ද වෙන එක ? ඒකත් කිසිම ආදායම් මාර්ගෙකුත් නැතිව ? ඒ අතරෙම තිබුණු ව්‍යාකූලත්වය නිසාමත් සමහරු නිකම්ම ලිංගික ගොදුරු බවට ඔහේ පත්වුණා. වෙන කරන්න ම දෙයක් නැති කමට සුළු මුදලකට ශරීරය බදු දෙන්න අදටත් සිද්ද වෙන ගැහැණු කී දෙනෙක් නම් ඒ පරිසරයෙ ඉන්නවා ඇතිද ? අපේ රටේ බොහෝ පිරිමින්ට අනුව සංසර්ගය කියන්නෙත් එක්තරා යුද්දයක්, එයාලා විතරක් දිනන. 

දකුණෙදිත් මේකෙ ඒ හැටි වෙනසක් නෑ, රණ විරුවො, අපේ කොල්ලො, අපෙ ගැළවුම් කාරයො, ඔය මොන ආලවට්ටම් දාලා එළිපිට කතා කරත් මැරිච්චි එකාගෙ ගෑණිට අනින්න බලාගෙන හොරෙන් වටේ කැරකෙන උන් කීදෙනෙක් නම් ඉන්නවාද කියන්න දන්නෙ ගම්මානවල තනිවෙච්චි ගෑණු. 

පඩිය හදාගන්න හෙඩ් ඔෆිස් යන රණවිරු වැන්දඹුවො කිදෙනෙක් නම් පඩියට හිලව්වට උඩුබැලි අතට ඉන්නවද කියලා දන්නෙ පඩි හදන උනුයි, ගන්න ගිහින් අසරණ වෙන ගෑණුයි විතරයි. ජාතිබේදය කොතන තියෙන එකක් උනත් බුරියෙන් පහළට වලංගු එකක් නොවෙනා විත්තිය යුද්ධයක් අපිට ඔප්පු කරේ ඔහොම.

නිවාඩුවට ගෙදර එන්න බලාගෙන ඉද්දි මහමඟ ක්ලේමෝ බෝම්බ වලට අහුවෙලත් පිපිරිලා නොගිය, සැමියන් ගැන ගැහැණුන්ගෙ හීන, රැයක් එළිවෙන තුරාවට ළඟින් ඉඳලා පසුවදාට හමුවෙන බලාපොරොත්තුවෙන් වෙන් වුණු, වෙඩි උණ්ඩය වැදිලත් හිල් නොවුණු පෙම්වතුන් ගැන පෙම්වතියන්ගෙ හීන, කවදාහරි ආයෙත් හුරතල් කරන්න ගෙදර එනතෙක් මඟ බලාගෙන ඉන්න, සයනයිඩ් හැපිලත් විස නොවුණු තාත්තලා ගැන දරුවන්ගෙ හීන, මේ ඔක්කොම කඳුළු වලට දිය වුණා නම් නන්දිකඩාල් කලපුව නෙවෙයි ඉන්දියන් සාගරේම පුරවන්න පුළුවනි. ඒත් ඒවා මායිම් කරන්නෙ කවුද ? කෙලිං කරගත්තු පුරුශ ලිංග වගෙ කාලතුවක්කු උරුක් කරන් මේ පාරත් යන විජයග්‍රහනයේ පෙළපාලි දිහා බලාගෙන අපිත් ඔහේ ඉමු. 

No comments:

Post a Comment