ළමයා එක වසරට - අම්මා හෝටලේට

එක වසර පන්තියට ළමයෙක්ව ඇතුළු කරන්න අම්මාගෙන් ලිංගික අල්ලසක් ඉල්ලලා ඈ එක්ක හෝටලයකට ගිය බවට කොට්ටාව ආනන්ද විද්‍යාලෙ හිටපු විදුහල්පතිවරයා අද කොළඹ මහාධිකරණයෙදි වරද පිළි අරං. දරුවෙක්ගෙ ඉගෙනුම වෙනුවෙන් අම්මලා මොන තරම් කැපකිරීම් කරනවාද ?
අමුම අමු රේස් එකක් වෙච්චි අධ්‍යාපනය ඇතුළෙ තමුන්ගෙ ළමයව ලොකු නමක් තියෙන ඉස්කෝලෙකට දාගන්න මේ විදිහට හෝටල් කාමර වල සීලිම දිහා බලාගෙන කඳුළු හංහගෙන අම්මලා කීදෙනෙක් ඉඳලා ඇතිද ?

ගුරු මෑණිවරු, ගුරු පියවරු කියලා ළමයින් ලවා බුලත් දීලා වන්දවා ගන්න ගමන් ම ඒ ළමයින්වම හොරාට හොරාට බිලිගන්න අපතයෝ කීදාහක් ඔය ක්ශේත්‍රයෙ ඉන්නවා ඇතිද ? වැඩෙ තියෙන්නෙ මේ සිද්ධියට අදාල විදුහල්පති වෙනුවෙනුත් පෙනී ඉන්න, ඔහුවම ඉල්ලන්න දෙමාපියො පෙළ ගැහුණු රටක් මේක. 

ඉස්කෝලෙක කීර්ති නාමය එහෙම නැත්තං වෘත්තියෙ ගෞරවය කියන එකට මුවා වෙලා අවලම් වැඩ කරනවා වගෙ ම එව්වා ඒ මුවාවෙන් ම වහගන්න වහලා දෙන්න ඉදිරිපත් වෙන මිනිස්සුත් මෙහෙ ඕනෙ තරම් ඉන්නවා.

ගුරුවරියක් දණගැස්සුව වෙලාවෙ දවස් ගණන් පාරවල් දිගෙ බැහැලා උද්ඝෝෂනය කරපු ගුරු සංගම් මේ වගෙ වෙලාවට ඉන්නෙ අහවල් එව්වා කාපු රිලව් වගෙ. 

පුංචි කාලෙ ඉඳන් එක එකා ගාව දණ ගහන්න උගන්නනවා වෙනුවට තනියෙන් නැඟී හිටින්නත්, කියන හැම එකම අහන්න කීකරු කරනවා වෙනුවට වරදට එරෙහි වෙන්නත් පුරුදු කෙරෙන අධ්‍යාපන ක්‍රමයක් රටට ඕනෙ, ඒ වෙනුවෙන් මේ වගෙ ගුරු හොරුන්ට උපරිම දඬුවම් නියම කෙරෙන්න ඕනෙ. 

No comments:

Post a Comment